Saturday, August 2, 2014

ඔබේ දරුවාට "එපා" කියන්න පෙර සිතා බලන්න

කුඩා දරුවන් නිතර කුතුහලයෙන් සිටිනා පිරිසකි. ඔවුන් තමන් අවට පරිසරයේ සිදු වන දේ පිළිබදව නිතර අවධානයෙන් සිටී. කලතුරකින් අවස්තාවක හැරුනු කොට ඔවුන් නිකරුනේ කාලය නාස්ති නොකරයි. මොවුන් නිතරම කුමක් හෝ ක්‍රියාවක් ඒ පිළිබද අවධානයෙන් (සම්මා සතියෙන්) කරනා පිරිසකි. මා මෙම නිරීක්ෂනයන් ලබා ගත්තේ මගේම දරුවා ගේ ක්‍රියාකාරකම් වලිනි.

මට අත් දකින්නට ලැබෙන ආකාරයට 80%ක් පමන කුඩා දරුවන්ට දවසේ වැඩිපුරම අසන්නට ලැබෙන්නේ "එපා" යන වචනයයි. දැන් එක පාරට හිතන්න එපා මා ළමයින්ට "එපා" කියන එක නවත්තන්න කියන්නයි හදන්නේ කියල. දෙමාපිය, වැඩිහිටි අප කුඩා දරුවන්ට නිසි මග පෙන්වන්නන් ය. එය අපේ යුතුකමක් මෙන්ම වගකීමකි. "එපා" කිව යුතු තැන කිව යුතුය. මා පෙන්වා දීම ට උත්සහ කරණුයේ ර්‍රට මදක් වෙනස් කරුණකි.

මගේම පුතා හා බැදුනු මෙම උදාහරණය සලකා බලන්න:

පුතා කාමරය ට පැමිණ මේසය මත නගී, මා "පුතා එපා මේසෙ උඩ නගින්න" යැයි කියයි. ඔහු මේසෙන් බැස පුටුව මත නැග බිමට පනින්නට පටන් ගනී. මා නැවතත් "එපා පුටුවෙන් පනින්න" යැයි කියයි. ඔහු ඊළගට ඇදට නැග බිමට පනින්න ගනී. මා නැවතත් "එපා පුතා" යැයි මදක් තදින් කියයි. ඔහුට කරන්නට දෙයක් මේ කාමරයේ නැති තැන ඔහු සාලයට ගොස් සෙල්ලම් බඩු සියල්ල බිම දමා සෙල්ලමක් පටන් ගන්නට මුල පුරන විට අම්මා පැමින "ඔක්කොම සෙල්ලම් බඩු බිම දා ගන්න එපා" යැයි කියයි. දරුවා ඉතා කලකිරීමකට ලක් වයි.

දෙමාපියන් දරුවාට "එපා" කියනවා මිස, "කරන්න" දෙයක් යෝජනා කරන්නේ නැති කමින් දරුවන් දැඩි අපහසුතාවට පත්වේ. "එපා" කියන්නට පහසු නමුත් කිරීම ට දෙයක් ‍යෝජනා කිරීම බහුතරයක් දෙමාපියන්ට අපහසු කරුණක්ව ඇත. මෙය හුදෙක්  දෙමාපියන් ගේ අනුවන කම නිසා සිදු කරන ක්‍රියාවකි.

එසේනම් අප කල යුත්තේ කුමක්ද? දරුවන් ගේ ආරක්ෂාවට, ඔවුන් හරි මග ට යොමන්නට "එපා" කිව යුතුය. නමුත් "එපා" කියන්නට පෙර වෙනත් විකල්පයක් යෝජනා කිරීමට තිබේදැයි සොයා බලා එම යෝජනාවත් සමග "එපා" කියන්න. "ඕක එපා පුතා අපි මෙන්න මේ දේ කරමුද?" ලෙස දරුවා සමග එක්ව යමක් කරන්න. දරුවන් සැම විටම අම්මා, තත්තා සමග සෙල්ලම් කිරීම ට ද කැමත්තක් දක්වයි. දෙමාපියන් දරුවන් කුඩා කල සිට ඔවුන්ගේ සිතැගි, හැසිරීම් තේරුම් ගනිමින් හරි මග පෙන්වන්නේනම් වඩාත් සුදුසු යැයි මට හැගේ. එමෙන්ම, කෙතරම් රාජකාරී බහුල උවත් තම කුඩා දරුවා සමග සැළකිය යුතු කාලයක් ගත කරන්න. ඔබ නොදැනීම ඔවුන් ලොකු මිනිසුන් වේ. ඔබ එදාට පසුතැවීමක් ඇති නොවන්න අදම වග බලා ගන්න.

කුඩා දරුවන් යනු අප හිතන් සිටිනවාට වඩා අප ගැන සිතන පිරිසකි.

- අනුරාධ -

Saturday, May 5, 2012

කලකට පස්සේ ලියන්න ගත්තේ...

අද වෙසක්. ගෙදර හරි හරියට වැඩ, කූඩු හදනව, බකට්, පහන් පත්තු කරනව, හතර දිබ්බාගෙම ඇහෙන්නෙ බක්ති ගී, බණ, පන්සිල්. උදෙන් ම පන්සල් ගියා, ගෙහුන් බණ පදයක් අහල හෙම එන මග දුන්න බෙලි මල් දන්සැලෙන් උගුරක් දෙකක් කට ගාලා ගෙදර ආව. හවස් ජාමෙ දි පුතන්ඩියත් එක්කල සෙල්ලම් කරල වෙස්ක් සැරසිලි කරා. ඕන් ඒ ගමන අපේ මායිය ගෙ ආසාවල් ඉස්ට සිද්ද කොරන වෙලාව, රාත්තිරියෙ කොළොන් තොටේ වෙසක් සිරි බලන්න, දන්සැල් කන්න යන්න තකහනියෙ ලෑස්තිය.

මෙතන ඉන්න අපේ පොඩි හාදය ට "වෙසක් කූඩු" කියන්න බෑ තාම, හැබැයි අපි ට වත් කියා ගන්න බැරි නමක් තමා උන් දැ කියන්නේ, "එතිස් කූඩු". කොහෙන් පාත් උනා ද බොලේ ඒ නම?.

ගෙදර උන්දැ දුම්මල වරම අත ට ගන්න කලින් මේ කෙටිල්ල නවත්තල හනික ලැහැත්ති වෙන්න ඕන.

බුදුන් ගේ තෙමගුල සිහි කරන මේ වෙසඟේ, මයෙ හිත් පොජ්ජේ තියෙන පැතුම මේකයි. "අපේ මිනිස්සුන් ගෙ හිත් නිවිල, වෛරය, ක්‍රෝධය නැති සාමකාමී ලෝකයක් බිහි වෙන්න කියල".

බුදු සරණයි!.

Friday, November 11, 2011

කාලයා පියඹාවි නොනැවතී නොම තැවී - දින ගණන් සති ගණන් පියාඹයි නොම ගැණී
කල දේ ට වැඩිය ඇත නොකල දේ ගොඩ ගැහී - අඟවමින් ජීචිතේ කෙටි කියා නොසිතු සේ
සමුගන්න මේ ලොවින් හිස් මිනිස්සුන් නොවී - දිරි ගන්න මුලු හිතින් ජය ගන්න සිත තොසෙන්

එකොළහයි/එකොළහයි/එකොළයි අද දිනය - එකොළහයි:එකොළහයි:එකොළහයි හෝරාච
පතමු පැතුමක් එක ට ගයමු ගී සාමය ට - ගෙචෙන හැම තත්පරෙම යොදමු යහ දියුණුච ට...

අනුරාධ... 11/11/11. 










Saturday, March 27, 2010

පාරාදීසයේ රිදී තාරකාව...


සෙනෙහසට අරුත් බොහෝමයි. සෙනෙහස විදින, පුදන විධි ද බොහෝමයි. ජීවිතයේ අදියරෙන් අදියර ගලා යන ගමනේ මා ගේ සෙනෙහස පිදූ විධි ද එමටයි! අද දින මාගේ සෙනෙස් ගගුල ට තවත් අතු ගංගාවක් එක් වුණි. ඒ ගඟේ නම තාම මම නොදණිමි.

මධූ සහ මාගේ සොදුරු පාරාදීසයේ අලුත් රිදී තාරකාවක් අද පෑයීය. ඒ නව මසක් තිස්සේ පේවී රකිමින් ඇගේ කුස තුළ දැරූ අපේ කිරිකැටි පුත් කුමරාය. මවකගේ සියලු ලක්ෂණ දැරූ ඈ, නිරෝගී, සොදුරු සිඟිත්තෙක් අද මෙලොව ට බිහි කලාය. ලඳකගේ සුකුමාල බවත්, මවකගේ ස්නේහයත් ඈ තුල සමබරව පැවතිණි. ඈ ගත කල නව මාසය භාවනාවක් මෙන් විය. ඒ භාවනාවේ ඵලය අද ඈ විදින්ණීය.

ශල්‍යාගාරය ට මා ද ඇතුලු විණි. ඇගේ අතින් අල්ලා ගත් මා වෙදැදුන් සිය කාර්යය ඉටුකරනා තෙක් ඈ අසලම රැදී සිටියෙමි. දරුවකු මෙලොව බිහි වන වේදනාව, දිරියෙන් යුතුව දරාගෙන සිටි ඇය දෙස බලා සිටි මා හට මගේ අම්මාත්, ඇගේ අම්මාත්, ලොව විසිර සිටින අම්මාවරුන් වත් ඉතා සෙනෙහසින් සිහි වුණි. දරුවා මෙලොව එලිය දකින විට මා හට මෙලොව සිටින සතුටු ම මිනිසා මා යැයි ද, දිරිය කාන්තාව මධූ යැයි ද දැනෙන්න ට විණ. මෙය බොහෝ සැමියන් ට දැනෙණ දෙයක් යැයි මට සිතේ.

ළඳක් උපන් දින පටන් බොහෝ දුක් ගැහට විදී. කෙදිනක හෝ මවු පදවිය ලබන ඈ මෙලොව රජුන් බිහි කරන දිරිය මවක් වන්නීය. අප සමාජයේ ඈ ට නිසි ගෞරවය ලැබිය යුතුය. එමෙන්ම එම ගෞරවය ලබා ගැණීම ට සුදුසු සේ කාන්තාවන් ජීවත් විම ද අවැසි කරුණකි.

මෙම සටහන මා ඉතා කලබලයෙන් තබන්නකි. ඒ මන් ද යත්, තව සුලු මොහොතකින් මා නැවත මධූ සහ පුතා බැලීම ට රෝහල ට යායුතු නිසාවෙනි. කලබලයෙන් වුව ද මගේ පැතුම මෙහි සටහන් තබා මම නවතිමි.

"පුතේ,... අද ඔබේ ජීවිතේ පළවෙනි දවසයි. මගේ සහ අම්මාගේ නව දිවියේ ද පළමු දවසයි. ආගම දහම ට ලැදි, කිසිවෙකුට කරදරයක් නැති, උගත්, බුද්ධිමත්, නිරෝගී, කඩවසම් මිනිසෙකු වන්න. රට යන ආරෙට නොව නිතැතිව හරි මග යන්න. එවිට ඔබ තරු අතර දිදුලමින් ලොව එලිය කරන පුන් සඳක් වනු නොඅනුමාණය."

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙස ට නොම වේ ය දුරු...

Tuesday, November 3, 2009

කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ

කොළඹ සහ තදාසන්න පෙදෙස් වල දුවන පුද්ගලික බස් කොන්දොස්තරලා ට ළඟදී සිට බරපතල රෝගයක් වැලදී ඇත. මෙය කෙමෙන් ලංගම කොන්දොස්තරලා ට ද බෝ වෙමින් පවතී. මෙම දරුණු රෝගී තත්වය රට තුලට පැතිර ගොස් ගම් දනව් වල සිටින කොන්දොස්තරලා ට ද වැළදීමේ මහා අවධානමක් ඇත. මෙම රෝගී තත්වය මීට පෙරද කිහිප දෙනෙකුගෙන් දිස්වුණද මෙතරම් ආක්‍රමණශීලී වර්ධණයක් නොතිබිණ.

මෙය කොන්දොස්තරයන් ට කලක් තිස්සේ වැළදී තිබෙන "අකරුණාව", "පොල් පැටවීම", "ටිකට් නොදීම", (තව ඇත) රෝගයන් ට අමතරව හට ගත් තත්වයකි. මෙය "මාරු නැතෝ" ඉංගිරිසියෙන් කියතොත් "No Change" syndrome නැමති භයානක රෝගී තත්වයයි. මා ඇතුලු බොහෝ දෙනෙකුගේ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණ නම් මෙම රෝගී තත්වයෙන් පීඩා විදින්නේ කොන්දොස්තරයන් නොව අසරණ මගියන් බවය. කොන්දොස්තරයන් මෙම රෝගී තත්වය නිසා අසාමාන්‍ය ලෙස අයුතු මුදල් ලාභ ලබන බව වැඩිදුර පිරික්සුම් වලින් සනාථ වී ඇත.

මෙම රෝගීන් හදුනා ගැනීම ඉතා පහසුය. අපි උදහරණයක් ගනිමු. ඔබේ ගමන් ගාස්තුව රු 6.00 කි. ඔබ පහේ කාසියක් සහ දෙකේ කාසියක් කොන්දොස්තර අත තබයි (රු 7.00). ඔහු ඔබ ට ප්‍රවේශ පතක් දී හෝ නොදී "මාරු නෑ" වැනි වදනක් සමඟ ඔබෙන් ඉවත් ව යයි. ඔබ ට රුපියල ක පාඩුවක් හිමි වේ. ඔහු ට රුපියලක් ලාභ වේ. තවත් විටෙක ඔබේ ගාස්තුව රු 25.00ක් යැයි සිතමු. ඔබ රු 50.00ක් ඔහු අත තබයි. "පහක් දෙන්න, මාරු නෑ" යනුවෙන් කොන්දොස්තර පවසයි. ඔබ ළඟ රු පහක් තිබුණහොත් ඔහුගේ රෝගී තත්ත්වය සමනය වේ, නැතිනම් ඔහු රු 20.00ක් ඔබ අත තබා (ප්‍රවේශ පත ඇතුව/නැතුව) නිහඬව හෝ "ඉතුරු බහිද්දි දෙන්නං" ලෙස පවසා ඔබෙන් නික්ම යයි. ඔබ සම්මා සතියෙන් යුත්තෙකු නම් බසයෙන් බැසීම ට පෙර ඉතිරි සල්ලි ඉල්ලා ගනී, එවි ට අකැමැත්තෙන් වුව ද කොන්දොස්තර ඔබට ඉතිරි දීම ට පෙළඹේ. නැති නම් ඔබේ පාඩුව රුපියල් පහකි.

මෙහි භයානක තත්ත්වය නම්, ඉතිරි ඉල්ලූ විට මගියාට බැණ වදින, අපහාස කරන දරුණු රෝගීන් ද සිටීමයි (Chronic No Change). මේ නිසා වැදගත් අහිංසක මගීන් බොහෝ විට ඉතිරි ඉල්ලීම නොකරයි. මෙය කොන්දොස්තරගේ රෝගය ට උල්පන්දන් දීමකි. මේ සඳහා සමහර කොන්දොස්තරයන් ඉතා භයානක මූණක් ද ආරූඨ කර ගනී. අසරණ කාන්තවන්, ළමුන්, වැඩිහිටියන් මෙම මුහුණ ට බිය වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතුය. එවන් බස් කොන්දස්තරයන් ගැන මගී ප්‍රවාහණ අධිකාරියට හෝ පොලීසියට පැමිණිලි කළ යුතුය.

කොන්දොස්තර ගේ රැකියාව වන්නේ, මගීන් ගෙන් ගමන් ගාස්තුව නිවැරිදි ලෙස ගෙන, ප්‍රවේශ පතක් දී ඔවුන් ව නිසි අයුරින් බස් රථයේ අසුන් ගැන්වීම හා හිට ගැන්වීමයි. මීට අමතරව, නිසි ගමනාන්තයෙන් බැස්සවීම ද සේවයේම කොටසකි. බස් රථය තුළ මගීන් ගේ වගකීම රියදුරු මෙන්ම කොන්දොස්තර අත ද එක හා සමානව පවතී. මෙහිදී "මාරු නෑ" කීයා ඉතුරු සල්ලි නොදීම කිසි සේත් අනුමත කළ නොහැක. අනික එය නීති විරෝධී ද වේ. නියම ගාස්තුව ගෙන ඉතුරු සල්ලි දීම ට කොන්දොස්තර නීතියෙන් බැදී ඇත. මේ බව මගීන් හොඳින් අවබෝධ කර ගත යුතුය. මෙම රෝගය තුරන් කළ හැක්කේ මගීන් ට ම පමණකි. මගීන් වන ඔබ ඔබට අදාල ගාස්තුව ගෙචා, ප්‍රවේශ පත ගෙන අදාල ඉතුරු මුදල් ද ලබා ගැනීම ට වග බලා ගන්න. ඔබ දහදිය මහන්සියෙන් උපයා ගත් සත පනහ වුව ද කොන්දොස්තරයන් ට පුදන්න ට අවැසි නැත.

මෙලෙස මගීන් ගේ මුදල් වංවා කළ ද කොන්දොස්තරයන් ට වන සෙතක් ද නැත. ඔවුන් ගේ කිසිදු දියුණුවක් පෙනෙන්නට නැත. ඔයාකාරයෙන් කොල්ල කන මුදල් වලින් හවස ට රා අරක්කු බී තුට්ටු දෙකක් අතේ තියන් ගෙදර යන ප්‍රතිශතය ඉතා ඉහලය. ඔවුන් ට මෙම මුදල් යා දෙන්නේ නැත. එය නිතර දෙවේලේ බස් රථ වල යන/නොයන ඕනෑම කෙනෙකුට පෙනෙන සත්‍යයකි.

ඔබේ රුපියල ඔබට වටී, කොන්දොස්තරගෙන් ඉතිරි ඉල්ලීම ට ලැජ්ජා නොචන්න.! මෙම රෝගය බෝවීම වැලක්වීම කළ හැකි එකම පිළියම නම් ඉතිරි ඉල්ලා ගැනීම ම පමණි. ඔවුන් ට හිස ඔසවන්න ඉඩ නොතබන්න. ඒ මන් ද යත් මෙම රෝගයෙන් පීඩා විදින්නේ කොන්දොස්තර නොව මගීයා වන ඔබ නිසාවෙනි.


Wednesday, September 9, 2009

අද 09/09/09

අප බොහෝමයක් දෙනා රටා වල ට ඇලුම් කරති. රටාවකට නිමවූ පැදුරු, ඇදුම් මෝස්තර, රටාවක් සහිත දුරකතන නොම්මර, වාහන නොම්මර. රටාවක ට මිදුල අමදින්නත් අපි සමහරු සමතුන් වෙත්. රටාවක ට ජීවත් වන්නත් ඉගෙන ගන්නේනම් ඉතා අගනේය. මට තකහනියේ මේ රටා ගැන ලියන්න සිතුනේ අද දවසත් රටාවකට පිහිටි දිනයක් වන නිසාවෙනි. අද 2009 සැප්තැම්බර් නව වෙනිදා ය, එය අංකික අයුරින් ලියන්නේ නම්, 09/09/2009, කෙටියෙන් 09/09/09. අපේ රටේ සහ ලොව සමහර රට වල දනා නවය නපුරු ලෙස සිතුවත් මට නම් එහි කිසිදු නපුරක් හෝ නරකක් නොපෙනේ. අද දින රාත්‍රී නවය ට, එනම් 09/09/09 දා 09:09 ට හැකි සැම දෙනා ම තම ජීවිත වල ට නව අරුතක්, හොඳ වෙනසක් ඇති කරගන්න අදිටන් කර ගන්න. නවය නපුරු නොව, නවය "නව" දිවියකට පා තැබීමේ අංකයක් ලෙස සිතා අද දිනත් ඉදිරි ජීවිත කාලයත් සුබවාදී ලෙස ගෙවීම ට ඔබ සියල්ලන් ට හැකි වේවා යැයි මම පතමි.

Friday, June 26, 2009

විදුලි සංඥා හා පොලිසිය

කොළඹ සමයං එම ට යි නොවැ. ඉතින් මේකත් ඒ සමයං වලින් එකක් කියල හිතා ගත්තෑකි. උදෑසන රැකියාවට කොළඹ බලා යන උදවිය ට විදුලි මග සලකුණු සහිත හන්දි ගණනාවක් පසු කර යන්න ට සිදු වේ. මෙම හන්දි වලින් සමහර තැන් වල විදුලි එලි විධාන වල ට අමතරව පොලිස් මහත්තුරුන් ද රාජකාරියේ නියැලී සිටී. මොවුන් නලා වල කෙල පිරෙන තෙක් පිඹිමින් අත ගැලවී යන තෙක් වනමින් ඉතා උනන්දුවෙන් වාහන හසුරවනු දැකිය හැකිය. නමුත් වාහන තද බදයේ අඩුවක් නම් දිස් නොවේ. බොහෝ විට මොවුන් රාජකාරියේ නියැලී සිටිනා ස්ථාන වල තද බදය ඉතා වැඩි ගතියක් පෙන්නුම් කරයි. ඊට හේතුව නම්, වාහන පෙල එක දිගට ගලා ඒමේ දී සමහර ස්ථාන වල ආලෝක සංඥැ එලි වල ට අනුව ගමන් කරීමත් සමහර ස්ථාන වල පොලිස් මහතාගේ සංඥා අනුව ගමන් කිරීමත්ය. මෙම විධාන වල කාල පරාස වල තිබෙන්නා වූ පරස්පර බව නිසා මනා කලමනාකාරීත්වයකින් තොරව වාහන ගලනය සිදුවේ. මෙය තද බදය වැඩිකරන්න ට හේතුවක් වේ. තවත් කරුණක් වන්නේ, එක් පසකට ගමන් කිරීම ට මාර්ග බෙදා තිබීමයි. මෙය සමහර පෙදෙස් වල ට ගැලපුන ද සමහර පෙදෙස් වලට නොගැලපේ. මේ මා අවුරුදු කිහිපයක් උදේ හවා ගමන් කරන විට අත් දුටු දෙයකි. මාර්ග තදබදය ට හේතු බොහෝයි. නමුත්, පොලිස් හා විදුලි පාලන ලෙස ක්‍රම දෙකකට අනු ව නොයො දා විදුලි ආලෝක පාලනය පමණක් නගරය තුල ක්‍රියා කරවන්නේ නම් තදබදය මදක් අඩු කරගැනීම ට එය ඉවහල් වේ යැයි මට හැඟේ. සමහර පොලිස් නිලදරුවන් ට හතරමං හන්දියේ පාරවල් හතරටම සම සේ වාහන ගමන් කරවීම ට අමතක වන අවස්තා ද ඇත. එවිට එකම පාර ට දෙවරක් ප්‍රමුඛතාව දෙන අවස්තා ද මම දැක ඇත්තෙමි. සමහර පොලිස් නිලදරුවන් සංඥා ක්‍රම පහුණුව ට ද කාර්ය බහුල වේලාවල් යොදා ගැනීම මගී ජනයා ගේ කාලය නාස්ති වීම ට හේතු වේ.

නගර කළමනාකරනයේ එක් වැදගත් අංගයක් වන මාර්ග කළමනාකරනය අපේ රටේ නිසි ලෙස සිදු නොවන නිසා නුදුරු අනාගතයේ දී රටේ සියලු නගර වල ඉතා දැඩි වහන තදබදයක් ඇති වන බව පැහැදිලි කරුණකි. බලදරුවන් මේ පිළිබඳ ඉක්මන් පියවර නොගතහොත් නගරේ රැකියාව ට යාම කාටත් ඉතා අමිහිරි (දැන ට ද අමිහිරිය) කාරියක් වනු නියතය.

සංවර්ධන සංග්‍රාමය ට ජය වේවා.