Tuesday, November 3, 2009

කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ

කොළඹ සහ තදාසන්න පෙදෙස් වල දුවන පුද්ගලික බස් කොන්දොස්තරලා ට ළඟදී සිට බරපතල රෝගයක් වැලදී ඇත. මෙය කෙමෙන් ලංගම කොන්දොස්තරලා ට ද බෝ වෙමින් පවතී. මෙම දරුණු රෝගී තත්වය රට තුලට පැතිර ගොස් ගම් දනව් වල සිටින කොන්දොස්තරලා ට ද වැළදීමේ මහා අවධානමක් ඇත. මෙම රෝගී තත්වය මීට පෙරද කිහිප දෙනෙකුගෙන් දිස්වුණද මෙතරම් ආක්‍රමණශීලී වර්ධණයක් නොතිබිණ.

මෙය කොන්දොස්තරයන් ට කලක් තිස්සේ වැළදී තිබෙන "අකරුණාව", "පොල් පැටවීම", "ටිකට් නොදීම", (තව ඇත) රෝගයන් ට අමතරව හට ගත් තත්වයකි. මෙය "මාරු නැතෝ" ඉංගිරිසියෙන් කියතොත් "No Change" syndrome නැමති භයානක රෝගී තත්වයයි. මා ඇතුලු බොහෝ දෙනෙකුගේ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණ නම් මෙම රෝගී තත්වයෙන් පීඩා විදින්නේ කොන්දොස්තරයන් නොව අසරණ මගියන් බවය. කොන්දොස්තරයන් මෙම රෝගී තත්වය නිසා අසාමාන්‍ය ලෙස අයුතු මුදල් ලාභ ලබන බව වැඩිදුර පිරික්සුම් වලින් සනාථ වී ඇත.

මෙම රෝගීන් හදුනා ගැනීම ඉතා පහසුය. අපි උදහරණයක් ගනිමු. ඔබේ ගමන් ගාස්තුව රු 6.00 කි. ඔබ පහේ කාසියක් සහ දෙකේ කාසියක් කොන්දොස්තර අත තබයි (රු 7.00). ඔහු ඔබ ට ප්‍රවේශ පතක් දී හෝ නොදී "මාරු නෑ" වැනි වදනක් සමඟ ඔබෙන් ඉවත් ව යයි. ඔබ ට රුපියල ක පාඩුවක් හිමි වේ. ඔහු ට රුපියලක් ලාභ වේ. තවත් විටෙක ඔබේ ගාස්තුව රු 25.00ක් යැයි සිතමු. ඔබ රු 50.00ක් ඔහු අත තබයි. "පහක් දෙන්න, මාරු නෑ" යනුවෙන් කොන්දොස්තර පවසයි. ඔබ ළඟ රු පහක් තිබුණහොත් ඔහුගේ රෝගී තත්ත්වය සමනය වේ, නැතිනම් ඔහු රු 20.00ක් ඔබ අත තබා (ප්‍රවේශ පත ඇතුව/නැතුව) නිහඬව හෝ "ඉතුරු බහිද්දි දෙන්නං" ලෙස පවසා ඔබෙන් නික්ම යයි. ඔබ සම්මා සතියෙන් යුත්තෙකු නම් බසයෙන් බැසීම ට පෙර ඉතිරි සල්ලි ඉල්ලා ගනී, එවි ට අකැමැත්තෙන් වුව ද කොන්දොස්තර ඔබට ඉතිරි දීම ට පෙළඹේ. නැති නම් ඔබේ පාඩුව රුපියල් පහකි.

මෙහි භයානක තත්ත්වය නම්, ඉතිරි ඉල්ලූ විට මගියාට බැණ වදින, අපහාස කරන දරුණු රෝගීන් ද සිටීමයි (Chronic No Change). මේ නිසා වැදගත් අහිංසක මගීන් බොහෝ විට ඉතිරි ඉල්ලීම නොකරයි. මෙය කොන්දොස්තරගේ රෝගය ට උල්පන්දන් දීමකි. මේ සඳහා සමහර කොන්දොස්තරයන් ඉතා භයානක මූණක් ද ආරූඨ කර ගනී. අසරණ කාන්තවන්, ළමුන්, වැඩිහිටියන් මෙම මුහුණ ට බිය වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතුය. එවන් බස් කොන්දස්තරයන් ගැන මගී ප්‍රවාහණ අධිකාරියට හෝ පොලීසියට පැමිණිලි කළ යුතුය.

කොන්දොස්තර ගේ රැකියාව වන්නේ, මගීන් ගෙන් ගමන් ගාස්තුව නිවැරිදි ලෙස ගෙන, ප්‍රවේශ පතක් දී ඔවුන් ව නිසි අයුරින් බස් රථයේ අසුන් ගැන්වීම හා හිට ගැන්වීමයි. මීට අමතරව, නිසි ගමනාන්තයෙන් බැස්සවීම ද සේවයේම කොටසකි. බස් රථය තුළ මගීන් ගේ වගකීම රියදුරු මෙන්ම කොන්දොස්තර අත ද එක හා සමානව පවතී. මෙහිදී "මාරු නෑ" කීයා ඉතුරු සල්ලි නොදීම කිසි සේත් අනුමත කළ නොහැක. අනික එය නීති විරෝධී ද වේ. නියම ගාස්තුව ගෙන ඉතුරු සල්ලි දීම ට කොන්දොස්තර නීතියෙන් බැදී ඇත. මේ බව මගීන් හොඳින් අවබෝධ කර ගත යුතුය. මෙම රෝගය තුරන් කළ හැක්කේ මගීන් ට ම පමණකි. මගීන් වන ඔබ ඔබට අදාල ගාස්තුව ගෙචා, ප්‍රවේශ පත ගෙන අදාල ඉතුරු මුදල් ද ලබා ගැනීම ට වග බලා ගන්න. ඔබ දහදිය මහන්සියෙන් උපයා ගත් සත පනහ වුව ද කොන්දොස්තරයන් ට පුදන්න ට අවැසි නැත.

මෙලෙස මගීන් ගේ මුදල් වංවා කළ ද කොන්දොස්තරයන් ට වන සෙතක් ද නැත. ඔවුන් ගේ කිසිදු දියුණුවක් පෙනෙන්නට නැත. ඔයාකාරයෙන් කොල්ල කන මුදල් වලින් හවස ට රා අරක්කු බී තුට්ටු දෙකක් අතේ තියන් ගෙදර යන ප්‍රතිශතය ඉතා ඉහලය. ඔවුන් ට මෙම මුදල් යා දෙන්නේ නැත. එය නිතර දෙවේලේ බස් රථ වල යන/නොයන ඕනෑම කෙනෙකුට පෙනෙන සත්‍යයකි.

ඔබේ රුපියල ඔබට වටී, කොන්දොස්තරගෙන් ඉතිරි ඉල්ලීම ට ලැජ්ජා නොචන්න.! මෙම රෝගය බෝවීම වැලක්වීම කළ හැකි එකම පිළියම නම් ඉතිරි ඉල්ලා ගැනීම ම පමණි. ඔවුන් ට හිස ඔසවන්න ඉඩ නොතබන්න. ඒ මන් ද යත් මෙම රෝගයෙන් පීඩා විදින්නේ කොන්දොස්තර නොව මගීයා වන ඔබ නිසාවෙනි.


Wednesday, September 9, 2009

අද 09/09/09

අප බොහෝමයක් දෙනා රටා වල ට ඇලුම් කරති. රටාවකට නිමවූ පැදුරු, ඇදුම් මෝස්තර, රටාවක් සහිත දුරකතන නොම්මර, වාහන නොම්මර. රටාවක ට මිදුල අමදින්නත් අපි සමහරු සමතුන් වෙත්. රටාවක ට ජීවත් වන්නත් ඉගෙන ගන්නේනම් ඉතා අගනේය. මට තකහනියේ මේ රටා ගැන ලියන්න සිතුනේ අද දවසත් රටාවකට පිහිටි දිනයක් වන නිසාවෙනි. අද 2009 සැප්තැම්බර් නව වෙනිදා ය, එය අංකික අයුරින් ලියන්නේ නම්, 09/09/2009, කෙටියෙන් 09/09/09. අපේ රටේ සහ ලොව සමහර රට වල දනා නවය නපුරු ලෙස සිතුවත් මට නම් එහි කිසිදු නපුරක් හෝ නරකක් නොපෙනේ. අද දින රාත්‍රී නවය ට, එනම් 09/09/09 දා 09:09 ට හැකි සැම දෙනා ම තම ජීවිත වල ට නව අරුතක්, හොඳ වෙනසක් ඇති කරගන්න අදිටන් කර ගන්න. නවය නපුරු නොව, නවය "නව" දිවියකට පා තැබීමේ අංකයක් ලෙස සිතා අද දිනත් ඉදිරි ජීවිත කාලයත් සුබවාදී ලෙස ගෙවීම ට ඔබ සියල්ලන් ට හැකි වේවා යැයි මම පතමි.

Friday, June 26, 2009

විදුලි සංඥා හා පොලිසිය

කොළඹ සමයං එම ට යි නොවැ. ඉතින් මේකත් ඒ සමයං වලින් එකක් කියල හිතා ගත්තෑකි. උදෑසන රැකියාවට කොළඹ බලා යන උදවිය ට විදුලි මග සලකුණු සහිත හන්දි ගණනාවක් පසු කර යන්න ට සිදු වේ. මෙම හන්දි වලින් සමහර තැන් වල විදුලි එලි විධාන වල ට අමතරව පොලිස් මහත්තුරුන් ද රාජකාරියේ නියැලී සිටී. මොවුන් නලා වල කෙල පිරෙන තෙක් පිඹිමින් අත ගැලවී යන තෙක් වනමින් ඉතා උනන්දුවෙන් වාහන හසුරවනු දැකිය හැකිය. නමුත් වාහන තද බදයේ අඩුවක් නම් දිස් නොවේ. බොහෝ විට මොවුන් රාජකාරියේ නියැලී සිටිනා ස්ථාන වල තද බදය ඉතා වැඩි ගතියක් පෙන්නුම් කරයි. ඊට හේතුව නම්, වාහන පෙල එක දිගට ගලා ඒමේ දී සමහර ස්ථාන වල ආලෝක සංඥැ එලි වල ට අනුව ගමන් කරීමත් සමහර ස්ථාන වල පොලිස් මහතාගේ සංඥා අනුව ගමන් කිරීමත්ය. මෙම විධාන වල කාල පරාස වල තිබෙන්නා වූ පරස්පර බව නිසා මනා කලමනාකාරීත්වයකින් තොරව වාහන ගලනය සිදුවේ. මෙය තද බදය වැඩිකරන්න ට හේතුවක් වේ. තවත් කරුණක් වන්නේ, එක් පසකට ගමන් කිරීම ට මාර්ග බෙදා තිබීමයි. මෙය සමහර පෙදෙස් වල ට ගැලපුන ද සමහර පෙදෙස් වලට නොගැලපේ. මේ මා අවුරුදු කිහිපයක් උදේ හවා ගමන් කරන විට අත් දුටු දෙයකි. මාර්ග තදබදය ට හේතු බොහෝයි. නමුත්, පොලිස් හා විදුලි පාලන ලෙස ක්‍රම දෙකකට අනු ව නොයො දා විදුලි ආලෝක පාලනය පමණක් නගරය තුල ක්‍රියා කරවන්නේ නම් තදබදය මදක් අඩු කරගැනීම ට එය ඉවහල් වේ යැයි මට හැඟේ. සමහර පොලිස් නිලදරුවන් ට හතරමං හන්දියේ පාරවල් හතරටම සම සේ වාහන ගමන් කරවීම ට අමතක වන අවස්තා ද ඇත. එවිට එකම පාර ට දෙවරක් ප්‍රමුඛතාව දෙන අවස්තා ද මම දැක ඇත්තෙමි. සමහර පොලිස් නිලදරුවන් සංඥා ක්‍රම පහුණුව ට ද කාර්ය බහුල වේලාවල් යොදා ගැනීම මගී ජනයා ගේ කාලය නාස්ති වීම ට හේතු වේ.

නගර කළමනාකරනයේ එක් වැදගත් අංගයක් වන මාර්ග කළමනාකරනය අපේ රටේ නිසි ලෙස සිදු නොවන නිසා නුදුරු අනාගතයේ දී රටේ සියලු නගර වල ඉතා දැඩි වහන තදබදයක් ඇති වන බව පැහැදිලි කරුණකි. බලදරුවන් මේ පිළිබඳ ඉක්මන් පියවර නොගතහොත් නගරේ රැකියාව ට යාම කාටත් ඉතා අමිහිරි (දැන ට ද අමිහිරිය) කාරියක් වනු නියතය.

සංවර්ධන සංග්‍රාමය ට ජය වේවා.


Sunday, May 17, 2009

අලුත් ශ්‍රී ලංකාචකට ආරාධනා

අප බොහෝ දෙනෙක් මේ වන විට දන්නා පිළිගන්නා කරුණක් වෙයි, එනම් වේලුපිල්ලේ ඇතුලු කොටි රැසක් කොටු වී සිටි බවත්, දැනටමත් උන් සියදිවි හානි කරගෙන සිටින බවත් (මේවා නිළ නොලත් ආරංවි බව සළකන්න). මෙය අප වසර ගණනක් සිට බලාපොරොත්තුව සිටි දෙයකි. මෙරට ත්‍රස්තවාදය තුරන් වී සාමය උදා වන තුරු අප සියල්ලන්ම බලා සිටියේ නොඉවසිල්ලෙනි. එසේනම්, අද දින ඇතුලත නිළ වශයෙන් සාමයේ පණිවුඩය දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිමි.

හැකි සෑම නිවසකම ගොඩනැගිල්ලකම ජාතික කොඩිය ඔසවා සූදානම් වී සිටින්න.!

ජනපති, තුන්විධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක අංශ ඇතුලු සියලු දෙනාටම මාගේ හද පරි ප්‍රණාමය පුද කර සිටිමි. අපි වෙනුවෙන් ඔබ සියලු දෙනා ජීවිත, ලේ පිදූ හැටි මියැදෙන තුරා අප හදවත් තුළ රැඳී තියේවි.

විරං ජයතු ශ්‍රී ලංකා.

Tuesday, February 10, 2009

අති සුන්දර නගරයක් කරා...

"රමණීය නගරයක් ගොඩනගමු.", "සුන්දර නගරයක් බිහිකරමු", "නගරය පිරිසිදුව තබා ගමු" වැනි වැකි ලියැවුනු බෝඩ් ලෑලි මම අනන්තවත් දැක ඇත්තෙමි. මේවා දිස්කරවූ නගර හරහා වසර කිහිපයක් තිස්සේ ගමන් කර ඇත්තෙමි. නමුත් එයින් බොහොමයක් නගර තවමත් "සුන්දර නගර" වූ බවක් නොපෙනේ. මා ලියන්න ට හිතුවේ "කොළඹ කුණු" වැනි පරසිදු මැයක් නොවේ. නිතර කතා බහ වන මැයක් නොවුණත් කොළඹ කුණු මෙන් මෙන්ම මෙය ද නගර වනසන පිළිලයකි. මෙය "ඡන්ද කුණු" නම් වේ.

මේ දින වල මහ මග යන විට (මැතිවරණ පෙදෙස් වල) පාර හතර පැත්ත බැලූ විට පෙනෙන්නේ මොනවාද? එක එක අපේක්‍ෂකයින් ගේ සේයා රූ රැගත් පෝස්ටර් ය (poster යන්නෙහි හෙළ වදන?, "දැන්වීම" නොගැලපෙන බවයි මගේ හැගීම, "දැන්වීම = notice"). ඒව කොතරම් අලවා ඇත් ද කියතොත් දැන් ඇලවීම ට ඉතිරි ව ඇත්තේ ඡන්ද දායකයන් ගේ ඇඟවල් පමණි. සිරුරේ ඇලවිය හැකි පෝස්ටරයක් බිහි වූ දාට ඡන්ද දාට පාර තොටේ යාම නම් අපට ලේසි නොවේවි. මොන විනාශකාරී වැඩක් ද මේ උදවිය මේ කරන්නෙ...

මෙය ඡන්ද ව්‍යාපාරයක් ලෙසනේ හඳුන්වන්නේ. එවිට පෝස්ටර්, බැනර් (හෙළ වදන?),අඳින්නන් හට, මුද්‍රණය කරන්නන් ට, අලවන අයට, මෙකී නොකී මෙම කටයුත්ත ට සම්මාදම් වන හැම දෙනාටම ආර්ථික වාසි සැලසෙන නිසා මෙය රටේ ව්‍යාපාර වලට ද රුකුල් දෙන්නක් ලෙස සමහරු අරුත් දක්වති. මොන වාසි කවුරු කෙසේ ලැබුවද නගරයේ පිරිසිඳු බවට, අලංකාරයට මෙමගින් වන පාඩුව නම් මිළ කල නොහැකිය. ඊයේ මහනුවර නගරය හරහා කොළඹ කරා එන ගමනේ දී මා දුටු විනාශකාරී ඡන්ද ක්‍රියාකාරකම් මෙම සටහන ලිවීම ට මා පොළඹවන ලදී. මහනුවර ලෝක උරුම නගරයයි. මෙය අපේ රටේ අන්තිම රාජධානියයි, දළදා මාලිගාව, වැව රවුම අප කාගේත් ගෞරවය, ආදරය ට ලක්වූ තැන්ය. නමුත්, මට දකින්න ට ලැබුනේ ඒ ප්‍රෞඩත්වය සිත් උපදින දසුනක ට වඩා සිත කීරි ගැහෙන දසුන්ය. වැව රවුමේ ගල් බැමි මත නොයෙකුත් මෝඩයන් ගේ නම් සහ මනාප අංක යොදා කතිර ඇඳ තිබුණි. වැව රවුම වටා සැදි මහා රූස්ස ගස් කඳන් මත ද එලෙසම තීන්තයෙන් පොල් අකුරින් නොයෙක් නම්, අංක ලියා තිබුණි, නගර මැද විදුලි කණු, අත් වැටවල්, ගස්, ගල්, තාප්ප, වාහන, මෙකි නොකී සෑම තැනකම පෝස්ටරවලින් වනසා තිබුණි. එක මෝඩයෙකුගේ රූපය රෑ එලි වන විට ඉරා, මකා දමා තව මෝඩයෙකුගේ රුව අලවයි. මහපාරේ කහ ඉරි චලට වඩා ඡන්ද අපේක්‍ෂකයන්ගේ සලකුණු, අංක ලියා ඇත. මෙම කොළ, පාප්ප, බැනර් පාර පුරා කෑලි වලට ඉරා දමා තිබිණ. මැතිවරණය මැටිවරණය/මැට්ටන්වරණය ලෙස වෙනස් විය යුතු යැයි මට හැඟේ...

මේ අයුරින් සුන්දර නගර බිහි කල හැකිද? අප නිවෙස් වලින් පාරට දමන කුණු මල්ලේ සිට මේ සියලු අණුවන වැඩ නිසා සුන්දර නගර බහි වීම සිහිනයක් පමණක් වනු ඇත. නගර සභාව ට ම බැන වැදී වැඩක් නැත. නීතිය ක්‍රියා කරවිය යුතු දේශපාලකයින් මෙලෙස හැසිරෙන විට ඉන් පහළ අයට කෙසේ අචචාද දෙත් ද? දේශපාලකයින් ගේ සැබෑ ස්වරූපය නම් මෙම වැඩ වලින් මොනවාට පැහැදිලි වේ. මොන අලංකාර ආදර්ශ පාඨ අත දරා සිටියත් මොවුන් සියල්ලන්ගේම පොදු පාඨය වනුයේ "කෙසේ හෝ තමන් බලය ට පැමිණිය යුතුය" යන්නයි. ඉතින් නගරය බල්ල ට ගියාම උන්ට මොකෝ..

දැන් මේවා ට විසඳුම් ද යෝජනා කල යුතුයි නොවැ... මට හැඟෙන පරිදි ජනතා ඡන්දය ලබා ගැනීම ට මෙතරම් ප්‍රචාරණයක් දෙන්න ට අවැසි නොවේ. යම් අපේක්‍ෂකයෙක් ගම ට රට ට යහ සේවයක් කරයිද ඔහු ට/ ඇය ට ජනතා වරම ලැබීම වැලැක්විය නොහැක. නමුත් අද එවැනි සේවයක් නොවන නිසා ජනතාව අතරට යාම ට මෙම පිරිස් හට දැඩි වෙහෙසක් දැරීම ට සිදුවේ. ඉතින් මා මෙවන් යෝජනාවක් ඉදිරිපත් කරමි.

යෝජනාව:
චිත්‍රපටි දැන්වීම් දැමීම සඳහා වෙන්වූ දැවැන්ත පුවරු අප දැක තිබේ. සමහර ඒවා යම් යම් විත්‍රපටි ශාලා විසින් මිළදී ගෙන ඇත. මේ අයුරින් දේශපාලන පක්‍ෂ වල ට ද වෙන් වූ පුවරුව බැගින් නගරයේ තෝරා ගත් තැන් වල ඉදි කළ හැක. මෙම පුවරු මත අලවන ඉලව්වක් අලවා ගනීම ට ඒ ඒ උදවියට හැකියාව ලැබේ. අදාල පක්‍ෂය ට වෙන්වූ පුවුරුවේ එක් අපේක්‍ෂකයෙකු එක් පෝස්ටරය බැගින් ඇලවීම කල යුතුය. මෙවි ට ඉතා විධිමත් ප්‍රවාරණයක් සිදුවේ යයි මම සිතමි. ජනතාව ට ද හිසරදයකින් තොරව තමන් ට කැමති කෙනා ට අදාල විස්තරය දැන ගැනීම ට හැකි වේවි.

වාසි:
1. නගරය පුරා ඉතා මෝඩ ලෙස පෝස්ටර අලවමින්, පාරවල්, තාප්ප විනාශ කරමින් සිදුකරන නගර දූෂණය නවතී. අලංකාර සුන්දර නගරයක් බිහි කර ගැනීම ට මං විවර වේ.
2. ජනයා ගේ පෞද්ගලික දේපල වල ට හානි සිදු නොවේ (පුද්ගලික තාප්ප, චාහන).
3. පක්‍ෂ වලට වෙන්වූ පුවරු ඇති නිසා ජනතාව ට ඉතා පහසුවෙන් තමන් කැමති ඡන්ද අපේක්‍ෂකයා ගේ පක්‍ෂය, පාට, සලකුණ, අංකය දැක ගත හැකි වේ. මෙමගින් ජනතාව ට සිදුවන වැරදීම් අවම කර ගත හැක.
4. පොස්ටර ඉරා ගැනීම්, රාත්‍රී කාලයේ පක්‍ෂ සහයකයින් අතර සිදුවන ගැටුම් වල ට තිත තැබේ.
5. මත් දියර, කුඩු, ගංජා උරමින් රැය පුරා තරුණ ජීවිත දූෂිත වීම අවම වේ.
6. පෝස්ටර සහ අනිකුත් ප්‍රවාරණ කටයුතු වල ට දරන වියදමින් ගම ට සේවයක් කිරීම ට ඡන්ද අපේක්‍ෂකයා ට වාසනාච උදා වේ.
7. මැතිවරණ නොමැති කාල වලදී තමන් ට අදාල පුවරුව වෙනත් ආයතන වල ට කුලිය ට දීමෙන් පක්‍ෂයේ අරමුදල තර කර ගත හැකි ය.
8. තව සැඟවුණු වාසි බොහෝයි....

අවාසි:

1. අනුන්ගේ පක්ෂ පුවරු වලට තාර, ගොම ගසා විනාශ කරීම ට ඉඩ තිබීම. (මොළය කළඳක් නොමැති අපේක්‍ෂකයින් සෑහෙන ප්‍රමාණයක් අදට ත් සිටින නිසා.)
2. මුද්‍රණාල හිමිකරුවන්, අරක්කු (නීතිමය හා හොර), මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හට සෑහෙන පමණකට වෙළදාම් අහිමි වීම.

අනෙක් අවාසි නොසලකා හැරිය හැකි තරම් සුලු ඒවා ය.

මෙය කියවන මගේ හිතවතුන් හටත් තවත් කරුණු වලින් මෙම සටහන පොෂණය කළ හැක. ඉතින් නොමසුරුව ඊට දායක වන්න, දිනක මෙවන් අදහසක් මෙරට ක්‍රියාත්මක වූව හොත් එම අදහසේ කොටස් කරුවන් වීමේ භාග්‍යය ඔබ ට ද මට ද හිමි වනු ඇත.

ඊට පෙර, අඩු තරමේ මහනුවර වැව රවුම අවට වත් පිරිසිදු කර නැවත එහි සුන්දරත්වය අපට දැක ගැනීම ට සලස්වන්නේ නම් මැනවි. ජනපති මහින්ද මහතා නුවර පිහිටි එතුමා ගේ රජ ගෙදර ට යන විට වත්, මෙම විනාශය දැක ඊට පිළියම් යොදන්නේ නම් එය ලෝකු උරුම නගරයේ සුන්දරත්වය යලි අවදි කරීම ට රුකුලක් වේවි. අනිත් කරුණ නම්, මෙවන් ස්ථාන වල පෝස්ටර ඇලවීම, කුරුටු බලි ගෑම වහාම තහනම් කළ යුතුය. මහින්ද වින්තන වැඩ පිළිවලේ නගර සංවර්ධය ට මෙය ද චගන්තියක් ලෙස ඇතුලත් කරගන්නේනම් මැනවි. "මැතිවරණ සමයේදී පෝස්ටර් අලවා, බැනර් එල්ලා, පාරවල්, තාප්ප, ගහ කොළ තීන්ත ගා නාස්ති කර දැමීම සෑම පාක්‍ෂිකයෙකුටම තහනම්". නැතිනම් අපේ අනාගත පරපුරට සුන්දර නගර වෙනුවට දකින්න වෙන්නේ පෝස්ටර නගර එකතුවකි.

විනාශකාරී පෝස්ටර්/බැනර් නොගහන, පාරවල් විකෘති වන ලෙස මනාප ඉල්ලා කුරුටු නොගාන, ගම නගරය සුන්දරව තබා ගැනීම ට උර දෙන සියලු ඡන්ද අපේක්‍ෂකයින් ට ජය වේවා!



Monday, February 2, 2009

මේ කොහි යන්නේ? කුමක් කරන්නේ?

කෙමෙන් කෙමෙන් අප ලඟා වන්නේ දියුණුව කරාය. පුද්ගල, පවුල්, ගම් වල දියුණුව රටේ දියුණුවයි, එක් රටක් අනෙක පරයා යමින් දියුණුවේ දිනුම් කනුව සොයා දිව යයි. සිප්ලකු (තාක්‍ෂණික) දැණුම අතින් ඉතා දියණු තත්ත්වයක අද ලොව පවතී. අප මේ යන්නේ කොයිබට ද? දියුණුව යනු කවදා හෝ ලඟා වී නැවතිය හැකි දෙයක් ද?. එසේ අවසානයක් ඇති දෙයක් නම්, ඒ අවසානය කොතැන ද? කෙදින ද? මේ දියුණුව කා සඳහාද? මෙවන් පැන ගණනාවක් සඳහා මම සාධාරණ පිළිතුරු සෙවූයෙමි. මෙසේ ටික කලක් සිතමින් සිටින විට හදිසියේම මා හට දැණුනු දෙයක් ගැන ටිකක් වැඩිපුර අචධානයක් යෙදුවෙමි.

මේ දියුණු ගමනේ දී අනන්තවත් අප සොබා දහම ට අනුගත නොවන ක්‍රියාවන් සිදු කරයි. ගස් කැපීම්, ගංගා වැලි ගොඩ දැමීම්, වගුරු බිම් ගොඩ කිරීම්, මෙකී නොකී අපමන දෑ සිදු කරයි. මේ සියල්ල දියුණුවේ ගමනට මඟ පාදා ගන්න ට සිදු කල යුතු වැලැක් විය නොහැකි "සංවර්ධන ක්‍රියා දාමයන්" ය. මට තිබෙන පැනය මෙයයි, මෙසේ දිනෙන් දින මිනිසා විසින් සොබා දහම ට එරෙහිව සිදු කෙරෙන "සංවර්ධ ක්‍රියා දාමයන්", සොබා දහම කොපමන කලක් ඉවසාවි ද යන්නයි. කෙමෙන් මිනිසා සොබා දහම ට තර්ජනයක් වන නිසා තම ආත්මාරක්‍ෂාව පතා සොබා දහම පියවරක් ගත් විට මිනිසාට ඉන් කිනම් ඉරණමක් අත් වේද? මිනිසා ඕනෑම තර්ජනයකට සූදානම් බව නිතර අසන වැකියකි. එනිසා බිය වන්න ට කරුණක් නැතැයි සිතා සිටින්නන් ඉවක් බවක් නැතිව කරනා විනාශයන් නිසා දිනක සොබා දහම් මාතාව විසින් මිනිස් දරුවන් ට අවසානය උදා කරන බව මට හැඟෙන කරුණකි. ඔබ ට එසේ හැඟේ දැයි මම නොදනිමි.

සිප්ලකුවෙන්, යුධමය වශයෙන් අප සවි මත් බව සැබවි. නමුත් සොබ දහම් හමුදාව ට මුහුණ දෙන්න ට මෙම සිප්ලකුව, අවි ආයුධ වල ට හැකි වේවිද? උදාහරණයක් ලෙස, සුනාමි රළ පහර දෙන විට, එය නවතාලීම ට, ඊට ප්‍රති පහර දීමට යොදා ගත අවිය කුමක් ද? මට මතක හැටිය ට දෙපා වල ට වැඳ දිවගොස් පණ බේරා ගැනීම හැරුණු විට අප ට කළ හැකි වෙන දෙයක් තිබුනේ නැත. සුළිසුලං සුලි කරකවමින් හසු වන හැම දෙයක්ම වනසමින් ගම රට හරහා හමා යන විට එය වලකාලීම ට සමත් වූ සිප්ලකුව කුමක් ද? දිවි සිදෙන විට "බුදු අම්මෝ", "දෙවියනේ", "අනේ සාමී", "යා අල්ලා","ඕ මයි ගෝඩ්", "වට් ද ෆක්" මේ කිසිවක් කියා ගත නොහී අසරණව මැයැදී යන්න ට වෙයි. මෙවන් ස්වාභාවික පහර දීම් "ස්වාභවික විපත්" ලෙස (අනිව්ඡානුග/ඉබේ සිදු වන) වදනක් යොදා සැර බාල කොට ඇත. වදනේ සැර බාල වූවද පහර කෑමට ලක්වූවන් ට අත් වන ඉරණම නම් සුලු පටු නොවේ.

සොබා දහම සහ මිනිසා අතර ගැටුමේ එකිනෙකා සතු සිප්ලකු හා යුධමය බලයන් ගෙන් කිහිපයක් සසඳා බලන්න. මුලු හමුදාවක් සතු යුධ ටැංකි, බලෑනි සියයක් සුනාමි රළ පහර හා සටන ට යෙදූ විට කවුරු ජය ගනීවි ද? ගුවන් යානා බලෑනියක් රොකට්, මිසයිල සමඟ ටොනේටෝ සුලිසුළඟක් සමඟ සටන ට ගිය හොත් කවුරු ජය ගනීවි ද?. ග්ලැසියර් දිය වී මුහුදු මට්ටම ඉහළ ගිය විට අහිමි වන ගොඩබිම් නැවත ලබා ගැනීම ට හැක්කේ මොන රජයට ද, මොන සංවිධානය ට ද?... කිසිවෙක් ට කිසිවක් කරගත නොහැකිය. අප සියල්ලන්ම ජීවත් වන්නේ සොබා දහම් නීතිය යටතේ ය. මේ ලොවේ මොන පාලකයා ට වත්, රටක ට වත් සොබා දහම් නීතිය ට පිටු පෑ නොහැක. වැරදි කලොත් පගාව දී හෝ දේසපාලකයෙකු මගින් තර්ජනය කොට බේරී සිටින්න ට හෝ ලැබෙන්නේ නැත. දඩුවම ඒකාන්තයෙන් ම ලැබේ.

සොබා දහම ට එරෙහිව මිනිසා ගේ ක්‍රියාවන් ගැන ලියන්න ට මට මෙම බ්ලොග් සටහන නම් කිසි සේත් නොසෑහේ. නමුත්, ඉතා අල්ප වශයෙන් හෝ පෙනවා දෙමින් මා කියන්න ට උත්සාහ කරන්නේ අපි සියල්ලන්ම සොබා දහම ට එරෙහිව ඉතා අණුවන ගමනක යෙදෙමින් සිටින්නෙමු. මේ එකිනෙකා මරාගෙන සොයා යන සැනසුම කිසිවෙකුට ත් විදින්නට නොලැබෙන බව අපි නොදන්නෙමු. පිළිගන්නට ද සූදානමක් නැත. මේ සටහන කියවීමෙන් පසු මේ හා බැදුණ අනෙක් කරුණු ගැනත් සිතා බලන්න. මිනිස් වර්ගයා සොබා දහමට තර්ජනයකව ඇති සත්වයින් ලැයිස්තුවේ අංක 1 තැන හිමි කර ගෙන ඇත. හැම ලැයිස්තුවකම උඩින් ම ඉන්න කැමති මනු සතා ට මේ ලැයිස්තුවේ උඩින් ම සිටීම ගැන සතුටු විය හැකි ද?

හැලියේ වතුර රත් වන තුරු දිය කෙලින කකුළුවන් මෙන් අප උත්සව පවත්වමින්, සංවත්සර සමරමින් කල් ගෙවන්නෙමු. සොබා දහම මිනිස් දරුවන්ගේ මිනී වල කපා අවසන්ය. දැන් අප සියල්ලන් නට නටා ඇදී යන්නේ ඒ මිනී වල වෙතට ය.

"ඔහොම යං".