Wednesday, December 10, 2008

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...


මේ ... නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි..
මේ... නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි...

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

මේ.... නගරය

ඔබ අත ගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ... නගරය

මෙය මා ඉතා ආදරය කල, විටෙක ගත් කල මා ජීවිතය ට ද සබැදි ගීයකි. වරෙක ශ්‍රී ජයවර්ධන පුර සරසවි ගී පැදුරක දී විශාරද මනෝජ් පීරිස් ගේ සංගීතයත් මුසුව (2002 වසරේ දී) මම මෙම ගීය මහත් ආදරයෙන් ගැයුවෙමි. මෙම ගීයේ අයිතිකරු, ඒ ළයාන්විත හඩේ හිමිකරු මෙලෙස අපෙන් සමු ගනීවි යැයි එදා මම කිසි සේත්ම නොසිතුවෙමි.

සිංහල ගීත ලොවේ පෑයූ තවත් දුලබ, අගනා තරුවක් පසු ගිය ඉරු දින (07/12/2008) අප ගී අහසින් නිවී ගියේ ඒ හඩේ මිහිරියාව පමණක් අප ට ඉතිරි කරමිනි. මර්වින් පෙරේරා සංගීත වේදියාණෙනි, ඔබ ට මා නිවන් සුව පතන අතර, ඔබේ ගී හඩ අසන්නට ලැබීම මගේ ජීවිත කාලයේ මට පල දුන් පිණක් බව සිහි කරනු කැමැත්තෙමි.

මා සනසා.. මා නලවා..
සුරංගනාවක් සෙමෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී...

සේයා රුව ලබා ගත්තේ lankavideos.magnify.net වෙතිනි.

Wednesday, October 1, 2008

මහනුවර වතුරේ වස.

ඊයේ (30-09-2008) පාන්දර 1.30 ට පමණ මහනුවර සමහර පෙදෙස් වල වතුර ට වස චර්ගයක් මුහු කොට ඇතැයි කියමින් ශබ්ධ වාහීනී යන්ත්‍ර දමාගෙන වාහන වලින් ප්‍රචාරණයක් කර ඇත. සමහර පෙදෙස් වල කිහිප දෙනෙක් මිය ගොස් ඇති බව ට ද කතා පැතිරී ඇත. උදෑසන රූපවාහිනී පුවත් වලින් මෙය අසත්‍ය ප්‍රචාරයක් බව කියා සිටියේය.

මට මේ ගැන කිහිප විධියක අදහස් ඇත.

1. සමහර විට ඇත්ත ට ම යමක් සිදුවී ඇති මුත් රටේ අනිත් ජනයා කලබල වේ යැයි සිතා යට ගැසීම.
2. කවුරුන් හෝ කඩාකප්පල් කාරී පිරිසක් ගේ බොරු ප්‍රචාරයක්.
3. ත්‍රස්තවාදීන් ම බොරු ප්‍රචාරයක් යවා, මිනිසුන් කලබල කර, එය බොරු බව දැන ගන්න ට සලස්වා, කවදා හෝ ඇත්ත ට ම මෙවන් දෙයක් කර ජනයා එය පෙර සේම බොරුවක් යැයි කියා නොසලකා හැරීමෙන් විනාශයක් කරා යොමු වීම ට සැලැස් වීම.

මෙහි දී මාගේ වැඩි අවධානය යොමු වන්නේ තෙවැනි කරුණටයි. කොටියා ට අත් වී ඇති පරාජය මත දැන් ඉතිරිව ඇත්තේ "තොපිත් මරාගෙන අපත් මැරෙනවා" යන සංකල්පයයි. ඒ නිසා අප රටේ කොහේ සිටියත් හොඳට සිත ට ගත යුතු කරුණ වන්නේ "අප සිටින්නේ ද ක්‍රියාන්විත පෙදෙසක යි" යන්නයි. මන් ද යත් මේ මුලු ලංකාවම මේ අවස්තාවේ දී රුදුරු ත්‍රස්තවාදීන් ගේ ඉලක්කයක් වී ඇති නිසාය. මෙය පිළිගැනීම එතරම් අපහසු නොවේ, "යුද්ධය තියෙන්නේ වන්නියේ නම්, ඇයි කොළඹ, නුවර සහ අනිකුත් පෙදෙස් වල මෙතරම් බෝම්බ පිපිරෙන්නේ?" මට හිතෙන්නේ මේ මුලු රටේම යුද්ධය ඇති බවයි. එය එක එක ප්‍රමාණවලින් ඇති එක විතරයි වෙනස. ත්‍රස්තයින්ගේ තර්ජන ය අප හැමෝටමයි!! ඉතින් වතුර ට වස දැමීම වැනි දෙයක් පමණක් නොව, ඊට වඩා දෙයක් වුනත් කරන්න බැරිකමක් නෑ. ප්‍රභාකරන් ජීව අවි යොදා ගත්තේ මුල සිටමය. මිනිස් බෝම්බ යනු ජීව අවියකි!. රසායණික අවි ද යොදා ගැනීම ට නොහැකියාවක් නොමැති බව අප සිතිය යුතු කරුණකි.

මේ නිසා අප මේ යුද්ධය නිම වන තුරුත්, නිම වී කලක් ගත වන තුරුත් ඉතාමත් ම සැලකිල්ලෙන් කල් ගත කළ යුතුවේ. අප හැමෝගේම ජීවිත අනතුරේ ය! බොරු ප්‍රවාර වුවත් සොයා බලා බොරු යැයි සම්මත කොටගෙන මිස අහක දැමිය නොයුතුය.

අපි නිති විමසිල්ලෙන් සිටිමු. බෝම්බ ගැන පමණක්ම නොව, විය හැකි ඕනෑම දෙයක ට සූදානම් ව සිටිමු.

Saturday, September 27, 2008

පළවෙනියා විය යුතුම ද?

"පුතා/දුව මේ පාර පන්තියේ කීවෙනියාද?" පාසැල් යන ඕනෑම දරුවෙකු ගෙන් නිතර ඇසෙන පැනයකි මෙය. පළවෙනි, දෙවෙනි, තෙවැනි තැන් ගත්තවුන් නොපැකිලිව පිළිවඳන් දෙන මුත් පහත් ශ්‍රේණියක් ගත් දරුවෙකු ට මෙය එතරම් සතුට දනවන පැනයක් නම් නොවේ. මෙයිනුත්, පළවෙනි තැන ගත් දරුවෙකු ට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළය. නමුත් සමහර තරඟ විභාග වලින් පළවෙනියා වීම එතරම් ම සතුට දනවන්න දෙයක් නොවේ. මෙය මගේ අත්ඇකීමකි.

චසර 1992. එකල මම පාසැලේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අප දිස්තිරික්කයේ පාසැල් කිහිපයක් තෝරාගෙන තරඟ විභාගයක් පැවැත්විණ. මෙය මාර්ග නීති පිළිබඳ ව දැණුම උරගා බැලීමේ විභාගයක් විය. පැයක ප්‍රශ්ණ පත්‍රයක ට පිළිතුරු සපයා සති දෙක තුනක ට පසු ප්‍රතිඵල නිකුත් විණ.

මගේ මිතුරෙකු ට පළවෙනි තැන හිමි වී තිබිණ. මට දෙවන හෝ තෙවැනි තැන හිමි වී තිබිණ. (හරිය ට ම මතක නැත). මගේ මිතුරා සතුටින් ඉපිලී ගියේය. අපගේ මීළඟ කුතුහළය වූයේ අප ට හිමි වන්න ට යන තෑගී පිළිබඳවය. නොබෝ වේලාවකින් අප ට තෑගි ලබා ගැනීම ට කාර්යාලය ට ඇරයුම් ලැබිණ.

තෙවනි සහ දෙවැනි තැන් හිමි අය ට මුදල් තෑගි දෙකක් සහ සැනසිලි තෑගි ලැබිණි. පළවෙනි තැන හිමි කෙනා ට එක් වසරක ට වලංගු වන රු 5000ක් වටිනා හදිසි අනතුරු ආරක්‍ෂණයක් පිරිනැමිණ. සියල්ලෝ සතුටින් විසිර ගියෝය.

අප නම් අප ට ලැබුණු තෑගි බුක්ති වින්ද මුත් පළවෙනියා ට නම් තමන් ගේ තෑග්ග දැකගන්න ට වත් නොහැකි විය. වසරක් ගෙවී හදිසි අනතුරු ආරක්‍ෂණය කල් ඉකුත් වූව ද ඔහු ට ඉන් ප්‍රයෝජන ගැනීම ට හදිසි අනතුරක් සිදු කර ගැනීම ට නොහැකි විය. ඉතින් අප ඔහු ට ඒ දින වල ලොරි, බස් පෙන්වා "ඔන්න තෑග්ග ගන්න නියම වෙලාව, හැප්පියන්!!!" යනුවෙන් ඔච්චම් කළ වාර අනන්තයි.

මා කියන්න උත්සාහ ගන්නේ මෙයයි. සෑම විට ම කරන විභාගයක හෝ ක්‍රියාවක වෙනියා හෝ ලැබෙන වාසි බලාපොරොත්තුවෙන් නොව, තමන්ගේ දැණුම, ශක්තිය උරගා බැලීමේ අවස්තාවක් යැයි සලකා උපරිම හොඳින් මුහුණ දිය යුතු ය යන්නයි. මන් ද යත් ජීවිතයේ සෑම විටම ලැබෙන ජයග්‍රහණ වලින් අප බලාපොරොත්තු වන වාසි අප ට නොලැබිය හැකි නිසා.

අප ඉගෙන ගත යුත්තේ විභාග සමත් වීම ට නොව ජීවිතය සමත් වීම ට ය. විභාග යනු අප දැණුම ගැන අප ට මැන ගත හැකි මිණුම් දණ්ඩක් පමණි. ඔබ ජීවිතය සමත් වීම ට සිතුවහොත් විභාග ඉබේම සමත් වනු ඇත. කාල වේලා ඇති විටෙක මේ ගැන මදක් සිතා බලන්න.

Thursday, September 4, 2008

අනගි ඔවදන

ගිය සතියේ මගේ නැගණියක ට (මගේ බිරිඳගේ) සිංහළ පන්තියේ පැවරූ වැඩයක් විය. එනම් ජනකතාචක් ගීත මය නාට්‍ය පිටපතක් ලෙස ලියාගෙන එන්න ට ය. ඇය ඉංගිරිසියෙන් ඉගෙන ගන්නා ළමයකු නිසා මෙය කරවා ගන්න ට මගෙන් උදව්වක් ඉල්ලුවා ය. මම, කතාව කියවා බලා මා දන්නා හැටියට පද පෙළක් ලියා දුන්නෙමි. පසුව එය මෙසේ තුරුදැල ට ද එක් කර අනෙකුන් හා බෙදා ගන්න ට ද සිතීමි.

මෙය පෙර රජ දවස ක වඩුවෙකු විසින් රජු ට කර දුන් කැටයම් වල ට ගෙවීමක් ලෙස අවවාදයක් ඉල්ලා එලද ඔවදනේ පිහිටෙන් තමන් හට වන්න ට තිබූ මහා විපතක් වලක්වා ගත් හැටි කියැවෙන අපූරු ජන කතාවකි. මෙහි ගැබ්ව ඇති හරය සහ පණිවිඩය වන්නේ "මිළ මුදල් සම්පත් කෙදින හෝ අපෙන් නැතිව යන බවත්, ජීවිතය ට වටිනා ඔවදන් අප දිවිය ට මිළ කළ නොහැකි සේවයක් ඉටු කරන බවත් ය."

කියවා බලා අදහස් ඇතොත් ලියා දක්වන්න ඇරයුම් කරමි.

පොතේ ගුරු:

බොහෝ ඉස්සර කාලෙක
ලංකාව නම් රටක
හද්ද පිටිසර ගමක
දක්‍ෂ වඩුවෙක් හිටිය කාලෙක

ලී යෙන් කළ දස්කම්
කැටයම් නොයෙක් විස්කම්
ලෙසින් මහ හාස්කම්
කරයි වඩුවා අනගි වඩු කම්

මුහුණ පුර සඳ මෙනි
නෙත් මැණික් කැට මෙනි
සුරඟන ට නොදෙවෙනි
'සඳවතී' නම් ඇගේ නම විණි

දිනක වුනි හරි වැඩක්
නොසිතූ ලෙසින් කිසිවෙක්
ආවා රජ අණක්
හිත ට දැණුනා මහ චකිතයක්


වඩුවා:

(වඩුවා සොවින් තැවෙමින් සිතයි)

එන්න ට කිව්වේ රජු මට කුමකට
දන්නේ නැහැ මම හිත මගෙ සලිතයි
සඳවති ගැන රජු සිත් ඇඳිලා වෙද?
මට මගෙ සඳවති යත් නැති වේවි ද?

යන්න ට වෙයි දින ගණනක් දුර දුර
ආපසු එන්න ට වෙන දින බොහො දුර
බිරිඳත් දරුවත් දමලා යන දුර
දුරලන්න ට හැකි වේවි ද දුක් දුර

(ශෝකයෙන් බිරිඳ සහ දරුවා දෙස බලා)
අකීකරු වෙන්න ට රජු ට
බැරිය මට කිසි ම විට
කිරිය යුතු වැඩය මට
නොදනිමී මම දැනට

(බිරිඳ දෙස හැරෙමින්)
මට හැඟෙන විලාසෙට
රජු ට සිත් පහළ වී ඇත නුඹට
අහෝ එය එසේ වේවි ද?
මට ඔබව අහිමි වේවි ද?

(දරුවාගේ හිස පිරිමදිමින්, දෙදනා ට ම සමු දෙමින්)
මම ගිහින් එන තුරා
ඉඳිනු මැන පරිස්සම් වෙලා
හුස්ම මගෙ ඇති තුරා
නුඹල දෙදනා රැදෙයි මගෙ සිත් පුරා

පොතේ ගුරු:

බිරිඳ සිහි වන්නේ
දරු ද සිහි වන්නේ
දින දින ගෙවෙන්නේ
කල්පයක් සේ ඔහු ට දැනුනේ

පුරා තුන් වසරක්
කලා කැටයම් රැසක්
ගමින් සිත් සුව හසක්
වඩුව වඩුකම් කලා සහසක්

රජු පැවරු පරිද්දෙන්
කැටයම් කලා ලීයෙන්
කාරිය නිමාවෙන්
යන්න කාලය උදා විය ඉන්

රජු පැමිණෙන්නේ
වඩුවා අමතමින්නේ
වාඩුව දෙමින්නේ
ඕන මොනවා දැයි අසන්නේ

රජු:

ප්‍රීතී ය වඩුව මට
කර ඇති ඔබේ වැඩ දැක
තුටු පඩුරු දෙන ලෙසට
අවැසි දේ කිම වේ ද කිව මට

පැවරූ වැඩය බොට
කර ඇති නිසා හොදට
අවවාදයක් හෝ මුදලකට
චාඩු ව ගෙවිය හැක ඉතිං මට

වඩුවා:

(මදක් කල්පනා කරමින්)

මුදලක් ගත්තොතින් මේ මා කළ වඩට
එය නැති වෙනව අපි කා බී ඇන්ද විට
මොනයම් දෙයක් ගෙන යා හැකි නම් දිගට
මුදල් නොවේ අවවාදය වේය මට

රජුගෙන් ඔවදනක් ගතයුතු යැයි සිතමි
මුදල් නොඉල්ලා ඉන්නට යැයි සිතමි
එය මහ වටින කරුණක් යැයි මම සිතමි
රජු දෙන ඔවදනත් ගෙන මම යමි සිතමි

(රජු ට වැඳ යටහත් පහත්ව තමා අවුරුදු තුනක් කළ ලී කැටයම් වල ට ගාස්තු ලෙස වටිනා අවවාදය ක් දෙන ලෙස ඉල්ලා සිටියේය)

පස්වහන් දහසක ට බුදු වේ රජතුමනි
සේවය කලේ ඔබ හට මා සිත තුටිනි
මා කල වැඩය වෙනුවෙන් මට රජතුමනි
දෙනුමැන ඔවදනක් දිවි සරු වෙන ලෙසිනි

(රජු ප්‍රීතියෙන් යුතුව මේ බුද්ධිමත් වඩුවා ගැන තවත් පැහැදී, ඉල්ලීම පරිදි "කනින් ඇසූවත් ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස කරන්න එපා" යනුවෙන් ඔවදනක් තල්පතක ලියා වඩුවාට දුන් සේක)

පොතේ ගුරු:

පඩුරු ගෙන ප්‍රීතියෙන්
වඩුව නික්මෙයි හනිකයෙන්
යන ගමන් මඟ තොටින්
අසයි අඹුදරු විත්ති සතොටින්

මග යන අය කිසිත්
නොදන්නා බව කිය කිසිත්
වඩුව ගෙ හිතට කිසිත්
හිතා ගත නොහැකීය මේ කිසිත්

(මඟ තොට දී මිනිසුන්ගෙන් ලැබූ ආරංවි නිසා සිත කලබල වු වඩුවා නිවසට නොයෑමට සිතයි)

සැක සිතිනි වඩුව ට
ගියා යැයි අඹුව පිට
පැන ගියයි දරුව පිට
අහෝ යැයි ඔහු සිතිය පිට පිට

නොයන්න ට සිතා නිවසට
නැවතුනු විසල් ගසක් යට
ගෙන රජ පඩුර ඉවතට
කියව බැලුවා එයද නිකමට


(වඩුවා රජු දුන් ඔවදන ගෙන කියවා බලා කම්පා වී, කුමට සැක කරන්නෙමිද මා, ගොස් සැක හැර දැන ගනිමියි සිතා නැගිට නිවස කරා යන්න ට සැරසුනි)

වඩුවා :

කොතරම් සෙනෙහසින් සිටිය ද අප දෙදෙන
දරුවා සමඟ දුක සැප දෙක බෙදා ගෙන
මට සැක නැතේ මගේ අඹු දරු දෙදෙන ගැන
ගොස් මම බලමි මගෙ නිවසට කල් නොගෙන

(වඩුවා නික්මේ. නිවසේ දොරට තට්ටු කළ ද බිරිය දොර හැරියේ නැත. වඩුවා බිරිඳ අමතා "සොදුර මා හදුනන්නේ නැතිද? රජතුමා ළඟ සේවයට ගිය ඔබේ සැමියා මමයි. දොර අරින්න" යැයි හඬ අවදි කලේය.)


බිරිඳ :

මගේ සැමියා කිසි දිනකේ
එන්නෙ නෑ රෑ දෙගොඩ යාමෙ
ඔබ මගේ සැමියා නොවන්නේ
අරින්නෑ දොර කසිම විටකේ

(සොවින් බරවූ වඩුවා ගෙයි පිළේම නිදා ගත්තේය. මහ රෑ ගෙතුලින් පිරිමි හඬක් ඇසුණි. ඔහු මහා කලබලයකටත් කෝපයකටත් පත් විය. දොර කඩාගෙන ඇතුලට යන්න සිතූ නමුත් රජුගේ ඔවදන නැවත ගෙන කියවා ඉවසා එළි වෙන තුරු පිළේම නිදා හුන්නේය. උදෑසන බිරිඳ දොර හැරගෙන එළිය ට පැමිණ පිළේ සිටි සැමියා දැක, පුදුමයට පත්ව හඬන්නට පටන් ගත්තාය. පුතා ද අවදි වී සිටි අතර ඔහුට තාත්තා අඳුනා ගත නොහැකි වී සිටියේය."පුතේ මේ උඹේ තාත්තා", ඊයේ රෑ ඇහුනේ පුතාගේම කට හඬ බව ඔහුට තේරුණා. වඩුවා සියළු විස්තර බිරියටත් දරුවාටත් කියා සිටියා.)

පොතේ ගුරු:

පසුදින නැචත වඩුවා
රජු වෙත යන්න සිතුවා
දින කිහිපයක් ගෙව්වා
මාළිගය වෙත නැචත ආවා

ඔබා රජු ළඟ දණ
දොහොත් මුදුනට ගෙන
තුන් වරක් වදිමින
කිව්ව පල දුන් අයුරු ඔවදන

පැහැදී රජු මෙවිට
දුන්නා පඩුරු පිට පිට
තවත් ඔවදන් දී තුට ට
යැව්වයි වඩුව නැවත නිවසට

කතා චස්තුව නිමි
නමුත් අදහස නොනිමි
ඔවදන් රුවන් වැනි
හිතට ගනු ඔබ දිලෙයි වැනි මිණි

(සියල්ලෝ වේදිකාවෙන් නික්ම යති)

නිමි.

( මෙහි දී මා සමහර තැන්හී එළිවැට ගැන තැකීමක් නොකළෙමි. )

Sunday, July 6, 2008

අට ලෝ දහම සහ අපි

මිතුරනි/මිතුරියනි,

මේ මිහිතලයේ ජීවත්වන සාමාන්‍යය පුද්ගලයන් වන අප කෙතරම් දුරකට අට ලෝ දහමෙහි කම්පා වෙත්ද? ඕනෑ තරම් අවස්ථා ඇත. එය අපට නොදැනීම අප තුලින් සිදුවන්නකි. මා සියලු ආගම් වලට නිසි ලෙස ගරු කරන, බුදු දහම හුදෙක් ආගමක් ලෙසම නොව, දර්ශනයක් ලෙස විනිවිද දකින්නට කැමති, සාමාන්‍යය මිනිසෙකි. මෙය ලියන මා ජීවිතය දෙස පැතිකඩ කිහිපයක් ඔස්සේ බලා, එහි අරුත් සොයන්නට උත්සාහ දරමින් සිටින්නෙකි. පස් පව් වලින් තොර නොවූවත්, පව් අවම ලෙස කිරීමේ දැඩි උත්සාහයක යෙදෙන්නෙකි.

මුලින්ම අටලෝ දහම සරලව දැනගමු.

ලාභ - අලාභ
යස - අයස
නින්දා - ප්‍රසංසා
සැප - දුක

වචන කෙටි වූවාට අරුත් නමි ඉතා ගැඹුරුය. ඒවායේ දිග පලළ විමසීම මට අයිති කටයුත්තක් නොවන අතර මාගේ දැනුමද ඒ සඳහා ප්‍රමාණවත් නොවන්නකි. මෙහිදී අප අට ලෝ දහමේ කම්පා නොවීම යනු ඉහත කරුණු නිසා මහත් සතුටකට හෝ අන්ත දුකට පත් නොවී මැදිහත් ව විඳ දරා ගැනීමයි. මෙය කොතරම් දුරකට අපට රැකිය හැකිද?

ඔබට අද දින ලොතරැයි දිනුමක් ලැබී නම්, ඔබ කොතරම් උද්දාමයට පත්වේද? ඔබ ආයෝජනය කල මුදලකට නිසි ලාභයක් නොලැබීනම් කොතරම් සිත් තැවුලට පත්වේද? සමාජයේ ගැරහුමට, සමච්චලයට ලක් වූ විට කොතරම් දුක් වේද, තමන්ට උසස් අයගෙන් පැසසුම් ලබුනු විට කොතරම් සතුටු වේද? මේ ආදී ලෙස අට ලෝ දහම අප සැම වටා නිරන්තරයෙන්ම සක්මනේ යෙදේ.

අප කෙසේනම් මේ ලෝ දම් අටෙහි කම්පා නොවී සිටිමුද? ඔබ ඔබ තුළින්ම විමසන්න. ඔබට දුක සහ සැප එකසේ විඳ දරා ගත හැකිද? හොදින්ම විමසුවොත්, මේ සියලු දේ හට ගන්නේ අප සිත් තුලම බව වැටහේවි. අප නිතරම වාගේ බාහිර පරිසරයත්/පුද්ගලයිනුත් සමඟ අපව සසඳන නිසාවෙන්, අප විසින් සකසා ගත්තාවූ මිණුම් දණ්ඩක් දෙස බලා ජීවිතය මැනීමක් සිදු කරයි. මේ මිණුම් දණ්ඩ හැම විටම නිවැරිදි නැත. එම නිසාවෙන්ම තමන් තමන්ටම දී ඇති තක්සේරුවද සැමවිටම නිවැරිදි නොවිය හැකිය.

ඔබ කල දෙයකට කෙනෙකු 'හොඳ' ප්‍රතිචාරයක් දැක්විය හැක. එම වැඩයටම තවකෙකු 'නරක' ප්‍රතිචාරයක් දැක්විය හැක. බොහෝ විට අප නරක ප්‍රතිචාර වලදී දුක් වෙන අතර හොඳ ප්‍රතිවාර නිහතමානීව පිළිගන්නවා. මෙකල හොඳ කී පමනින් උඩගු වන්නන් ඇත්තේ අතලොස්සකි. එය සෑහෙන සතුටකි. ඇත්ත වශයෙන්ම ගත්තොත් මෙහිදී 'හොඳ' 'නරක' ලෙස නොබෙදා, සියලු දේ ප්‍රතිචාර ලෙසම සිතුවොත් කම්පා වීමක් සිදු වීමට දෙයක් නැති වී යයි. ඒ අයුරින්ම, පුවතක් ලැබුණු තැන එය 'සුභ' හෝ 'අසුභ' යැයි තීරණය වන්නේ පුවත අසන්නා එය භාර ගන්නා ආකාරය මත නොවේද? උදාහරණයක් දැක්වූවොත්, වේලුපිල්ලේ මැරුණා කීවොත් එය කොටසකට 'සුභ' ආරංවියක් වන විට තවත් කොටසකට 'නරක' ආරංචියක් වේ. මෙහිදී මේ පුවත් 'සුභ' අසුභ' ලෙස නොබෙදා හුදෙක් පුවත් ලෙස සිතිය හැකි නම් කම්පා වීමට දෙයක් තිබේද? කනෙකු පයින් යන්නට වීම 'දුකක්' ලෙස සිතන විට තවෙකෙක් පයින් යෑම ව්‍යායාමයක් කොටගන්නේය. මෙහිදීද පයින් යෑම ගැන පමණක් සිතූ කල එහි කම්පා වීමට දෙයක් නැත.

අපට මේ අයුරින් සිතන්නට බොහෝ දේ ඇත. අටලෝ දමේ කම්පා වීම හෝ නොවීම අප සිත තුල ඇති කරගන්නා තීරණයකි. ඇත්තෙන්ම සියුම්ව සිතා බැලුවොත්, අප හසුරවා ගත යුත්තේ අවට පරිසරය නොව අප සිත බව වැටහේවි. ඔබද මමද, අනුන්ගේ අඩුපාඩු හදන්නට පළමු තමුන්ගේ සිතේ අඩුපාඩු සාදා ගත යුතුමය. අටලෝ දමේ කම්පා නොවිය හැකි නම් එය සිත් තැවුල් අවම යහ දිවි පැවැතමකට මඟ පාදන බව මට හැඟේ. ඔබටත් ඒ ගැන සිතන්නට ඉඩ තබා මම නවතිමි.

Thursday, June 19, 2008

ආදරය මොන වගේද?


ආදරය මොන වගේද කියල ඇහුවාම හුඟ දෙනෙක් කියන්නෙ "හරි සුන්දර දෙයක්", "හොඳට හිතල මතල කරන්න ඕන දෙයක්" වගේ දේවල්. සමහරු කියනවා "ආදරය කියන්නෙ උතුම් පරිත්‍යාගයක්" කයලත්. මටත් තියෙනවා ආදරය ගැන කියන්න යමක්.

"ආදරය හරියට හඳ වගේ, සෞම්‍යයි, මුලු විශ්වයටම අයිතියි. ලොවේ සෑම ජීවියෙකුටම නොයෙක් ආකාරයෙන් දිස්වෙනවා. පුර සඳක්, අඩ සඳක්, ආදී වශයෙන්. වෙලාවකට කළු වලාවකින් වැහෙනවා, නැවතත් සිනා සී චලාකුලු අතරින් දිස්වෙනවා. අමාවකක් වී නපුරුකමින් සැඟව යනවා. සැඩ හිරුගේ සැර පරුෂ බව සඟවා සිසිල් එලියක් විහිදවනවා... ඔබත්, මාත්, මේ මුලු ලෝකයත් එකිනෙකාට අයිති නැති වුවත්, සඳ ලොවට සදා අයිතියි."

ආදරය හරිම සෞම්‍යයි, මුලු විශ්වයේ සෑම ජීවියෙකුටම අයිතියි. මව් පිය දූ දරු සෙනෙහස, ප්‍රේමවතුන් වතියන්ගේ ආදරය, සතුන් අතර ඇති බැදීම ආදී මෙකී නොකී බොහෝ ආකරයෙන් පැවතිය හැකියි. ආදරය කෙනෙකුට සාගරයක් ලෙස හෝ දිය දෝතක් ලෙස (අඩු වැඩි වශයෙන්) ලැබෙනු ඇත. වරක ආදර සිත් තරවටුකම් පාන වාරත් ඇත (වරක, දරුවෙකුට වරදකට දඬුවම් කළ පියෙකු නැවතත් වරෙක තුරුලට ගෙන දරුවා සනසන්නේය). අපට ආදරය කරන්නන් කෙදිනක හෝ අපෙන් සදහටම සමුගන්නේය. ඔවුන් සමුගත්තද ඔවුන්ගේ ආදරය සදා අප අතර රැදෙනු ඇත. ලෝකයේ රුදුරු උවදුරු වලින් පීඩිත සිතට අස්වැසිල්ලක් ගෙනෙනේ ආදරයයි. අප කෙදිනකවත් කාටවත් අයිති කරගත නොහැකිය, නමුත් ආදරයේ සිසිලස මේ මුලු ලොව පවතින තුරාවටම සැමටම අයිතියි!

ආදරයට අරුත් බොහෝමැයි. මගේ, ඔබේ සිතැගි පරිදි ඒවා ගෙතිය හැක. මනුෂ්‍ය වර්ගයා පවා පරිඝණක ගත කළ හැකි යුගයක ජීවත් වන අපට ආදරයේ සිසිලස කොතරම් ප්‍රමාණයකට දැනෙනවාදැයි සොයා බලන්නට ඔබ වෙහෙසුනාද? අප තුලින්න දිනෙන් දින ගිලිහී යන ඒ අපරිමිත සෙනෙහස් ගඟුල සිදෙන්නට නොදී රැක ගන්නට, ආදරයට අරුතක් එක්කරන්නට, ඔබටත් මටත් කළ හැකි යමක් වෙතොත්, එය නොවලහා ඉටු කරන්නට අදිටන් කර ගමු.

ඔබටත් හැකියි ආදරයට අරුතක් එක්කරන්න. ඔබේ අදහස "Comments" ඔස්සේ යොමු කරන්න.

Sunday, June 15, 2008

ප්‍රවිශ්ඨය...

සදාකාලික නොවූ ලෝකේ
සදා කාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්...
(විශාරද සුනිල් එදිරිසිංහයන්)

මා නමින් දසුන්ප්‍රිය අනුරාධ. මහා ගත් කතුවරයෙකු, ප්‍රවීන ලේකඛයෙකු නොවූ නමුදු, සිංහළයේ වදන් යොදා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙය කියවමින් සිටින්නාවූ ඔබට මෙන් මටද පිහිටා ඇත. සිංහළෙන් බ්ලොග් සටහන් තැබීමේ මාගේ ප්‍රාථමික පරමාර්ථය වූයේ සිංහළ යුනිකෝඩ් භාවිතය ප්‍රවර්ධනය හා සිංහළ බ්‍ලොග් සංකල්පයට හවුල් වීම වුවත්, මා සිත තුල කලක සිට පැවති සියුම් අචශ්‍යතාවක්ද සපුරා ගැනීමට මෙමගින් මග එලි වුනි. එනම්, පාසැල් කාලයේ මා හට තිබී අදට ගිලිහී ගොස් ඇති ලිවීමේ හැකියාව නැවත මලවුන්ගෙන් නැගිටවා ගැනීමයි. ඒ කරුණු කාරනා සියල්ලටම සාධාරණයක් ඉටුවන්න යැයි සිතමින් මාගේ සිංහළ බ්‍ලොග් සටහන් තැබීමේ ඉඳුල් කට ගෑම අද සිදු වුන වගයි. මා වෘත්තියෙන් සෞන්දර්යය හා සම්බන්ධ නොවූවත් හදවතින් සෞන්දර්යය ඇසුරේ ජීවත් වන්නෙකි. එම නිසා, "ජීවිතය" ලෙසින් අන්තර්ජාලගත කළ මෙම බ්ලොග් සටහන් ගොන්න ජීවිතය හා ගැටෙන දුක, සතුට, සෞන්දර්යය, සහ අනෙකුත් සිතුවිලි ධාරා වලට විවෘත්ත කොට කුලුඳුල් සටහනට මෙසේ තිත තබමි.

මතුවට...