Monday, February 2, 2009

මේ කොහි යන්නේ? කුමක් කරන්නේ?

කෙමෙන් කෙමෙන් අප ලඟා වන්නේ දියුණුව කරාය. පුද්ගල, පවුල්, ගම් වල දියුණුව රටේ දියුණුවයි, එක් රටක් අනෙක පරයා යමින් දියුණුවේ දිනුම් කනුව සොයා දිව යයි. සිප්ලකු (තාක්‍ෂණික) දැණුම අතින් ඉතා දියණු තත්ත්වයක අද ලොව පවතී. අප මේ යන්නේ කොයිබට ද? දියුණුව යනු කවදා හෝ ලඟා වී නැවතිය හැකි දෙයක් ද?. එසේ අවසානයක් ඇති දෙයක් නම්, ඒ අවසානය කොතැන ද? කෙදින ද? මේ දියුණුව කා සඳහාද? මෙවන් පැන ගණනාවක් සඳහා මම සාධාරණ පිළිතුරු සෙවූයෙමි. මෙසේ ටික කලක් සිතමින් සිටින විට හදිසියේම මා හට දැණුනු දෙයක් ගැන ටිකක් වැඩිපුර අචධානයක් යෙදුවෙමි.

මේ දියුණු ගමනේ දී අනන්තවත් අප සොබා දහම ට අනුගත නොවන ක්‍රියාවන් සිදු කරයි. ගස් කැපීම්, ගංගා වැලි ගොඩ දැමීම්, වගුරු බිම් ගොඩ කිරීම්, මෙකී නොකී අපමන දෑ සිදු කරයි. මේ සියල්ල දියුණුවේ ගමනට මඟ පාදා ගන්න ට සිදු කල යුතු වැලැක් විය නොහැකි "සංවර්ධන ක්‍රියා දාමයන්" ය. මට තිබෙන පැනය මෙයයි, මෙසේ දිනෙන් දින මිනිසා විසින් සොබා දහම ට එරෙහිව සිදු කෙරෙන "සංවර්ධ ක්‍රියා දාමයන්", සොබා දහම කොපමන කලක් ඉවසාවි ද යන්නයි. කෙමෙන් මිනිසා සොබා දහම ට තර්ජනයක් වන නිසා තම ආත්මාරක්‍ෂාව පතා සොබා දහම පියවරක් ගත් විට මිනිසාට ඉන් කිනම් ඉරණමක් අත් වේද? මිනිසා ඕනෑම තර්ජනයකට සූදානම් බව නිතර අසන වැකියකි. එනිසා බිය වන්න ට කරුණක් නැතැයි සිතා සිටින්නන් ඉවක් බවක් නැතිව කරනා විනාශයන් නිසා දිනක සොබා දහම් මාතාව විසින් මිනිස් දරුවන් ට අවසානය උදා කරන බව මට හැඟෙන කරුණකි. ඔබ ට එසේ හැඟේ දැයි මම නොදනිමි.

සිප්ලකුවෙන්, යුධමය වශයෙන් අප සවි මත් බව සැබවි. නමුත් සොබ දහම් හමුදාව ට මුහුණ දෙන්න ට මෙම සිප්ලකුව, අවි ආයුධ වල ට හැකි වේවිද? උදාහරණයක් ලෙස, සුනාමි රළ පහර දෙන විට, එය නවතාලීම ට, ඊට ප්‍රති පහර දීමට යොදා ගත අවිය කුමක් ද? මට මතක හැටිය ට දෙපා වල ට වැඳ දිවගොස් පණ බේරා ගැනීම හැරුණු විට අප ට කළ හැකි වෙන දෙයක් තිබුනේ නැත. සුළිසුලං සුලි කරකවමින් හසු වන හැම දෙයක්ම වනසමින් ගම රට හරහා හමා යන විට එය වලකාලීම ට සමත් වූ සිප්ලකුව කුමක් ද? දිවි සිදෙන විට "බුදු අම්මෝ", "දෙවියනේ", "අනේ සාමී", "යා අල්ලා","ඕ මයි ගෝඩ්", "වට් ද ෆක්" මේ කිසිවක් කියා ගත නොහී අසරණව මැයැදී යන්න ට වෙයි. මෙවන් ස්වාභාවික පහර දීම් "ස්වාභවික විපත්" ලෙස (අනිව්ඡානුග/ඉබේ සිදු වන) වදනක් යොදා සැර බාල කොට ඇත. වදනේ සැර බාල වූවද පහර කෑමට ලක්වූවන් ට අත් වන ඉරණම නම් සුලු පටු නොවේ.

සොබා දහම සහ මිනිසා අතර ගැටුමේ එකිනෙකා සතු සිප්ලකු හා යුධමය බලයන් ගෙන් කිහිපයක් සසඳා බලන්න. මුලු හමුදාවක් සතු යුධ ටැංකි, බලෑනි සියයක් සුනාමි රළ පහර හා සටන ට යෙදූ විට කවුරු ජය ගනීවි ද? ගුවන් යානා බලෑනියක් රොකට්, මිසයිල සමඟ ටොනේටෝ සුලිසුළඟක් සමඟ සටන ට ගිය හොත් කවුරු ජය ගනීවි ද?. ග්ලැසියර් දිය වී මුහුදු මට්ටම ඉහළ ගිය විට අහිමි වන ගොඩබිම් නැවත ලබා ගැනීම ට හැක්කේ මොන රජයට ද, මොන සංවිධානය ට ද?... කිසිවෙක් ට කිසිවක් කරගත නොහැකිය. අප සියල්ලන්ම ජීවත් වන්නේ සොබා දහම් නීතිය යටතේ ය. මේ ලොවේ මොන පාලකයා ට වත්, රටක ට වත් සොබා දහම් නීතිය ට පිටු පෑ නොහැක. වැරදි කලොත් පගාව දී හෝ දේසපාලකයෙකු මගින් තර්ජනය කොට බේරී සිටින්න ට හෝ ලැබෙන්නේ නැත. දඩුවම ඒකාන්තයෙන් ම ලැබේ.

සොබා දහම ට එරෙහිව මිනිසා ගේ ක්‍රියාවන් ගැන ලියන්න ට මට මෙම බ්ලොග් සටහන නම් කිසි සේත් නොසෑහේ. නමුත්, ඉතා අල්ප වශයෙන් හෝ පෙනවා දෙමින් මා කියන්න ට උත්සාහ කරන්නේ අපි සියල්ලන්ම සොබා දහම ට එරෙහිව ඉතා අණුවන ගමනක යෙදෙමින් සිටින්නෙමු. මේ එකිනෙකා මරාගෙන සොයා යන සැනසුම කිසිවෙකුට ත් විදින්නට නොලැබෙන බව අපි නොදන්නෙමු. පිළිගන්නට ද සූදානමක් නැත. මේ සටහන කියවීමෙන් පසු මේ හා බැදුණ අනෙක් කරුණු ගැනත් සිතා බලන්න. මිනිස් වර්ගයා සොබා දහමට තර්ජනයකව ඇති සත්වයින් ලැයිස්තුවේ අංක 1 තැන හිමි කර ගෙන ඇත. හැම ලැයිස්තුවකම උඩින් ම ඉන්න කැමති මනු සතා ට මේ ලැයිස්තුවේ උඩින් ම සිටීම ගැන සතුටු විය හැකි ද?

හැලියේ වතුර රත් වන තුරු දිය කෙලින කකුළුවන් මෙන් අප උත්සව පවත්වමින්, සංවත්සර සමරමින් කල් ගෙවන්නෙමු. සොබා දහම මිනිස් දරුවන්ගේ මිනී වල කපා අවසන්ය. දැන් අප සියල්ලන් නට නටා ඇදී යන්නේ ඒ මිනී වල වෙතට ය.

"ඔහොම යං".







3 comments:

malee_msg said...

අනේ මන්දා.. දියුණු වෙනවා කිය කිය ලබන අමුතු දියුණුවක් නෑ කියලා මටත් හිතෙනවා.. සමහර විටි විද්‍යාව ස්භාවික පරිසරය නැත්තටම නැති කරලා කෘතිම පරිසර පද්ධතියක් බිහිකරාවි ඉදරියට...හික් හික්

සරත් ගුණතුංග said...

මට නම් පේන්න දියුණුවක් නැහැ. වෙනස් වීමක් නම් පෙනෙනවා. විද්‍යාත්මක, අතින් දියුණුව්ක් පෙනුනත්, නවීන සොයාගැනීම් තිබුනත්, අලුතෙන් විනාශකාරී යුද උපකරන හැදුවත් ඒක දියුනුවක් කියල කියන්න පුලුවන්ද? අද ඔබ ජීව්ත් වන ලෝකය දිහාම බලන්න. අද ලෝකයේ තිබෙන මානසික පීඩනය මීට වසර 40කට 50කට පෙර තිබුනෙ නැහැ. ආධ්‍යාත්මික අතින් නම් අපි හොඳටම පිරිහිලා ගිහින්.

Anuradha said...

මලී වෙත,
මැවූ පද්ධතියක්, ස්වාභාවිකත්වයෙන් කොව්වර එහා ද නේද? දැන් බලන්න ඔය රොබෝ වරු. රොබෝල කොව්වර දියුණුයි කිව්වත්, ස්වභාවික සතුන්ගේ හැකියාවන්ගෙන් කීයෙන් කීයද රොබෝට පුලුවන්... අප එක් පැත්තක් විතරයි දකින්නේ, ඒකයි අවුල. සිප්ලකු දියුණුවත් ඕන, නමුත් ලොව අනිත් දේත් රැක ගෙනයි ඒ ගමන යන්න ඕන.. මලී ඔබ ට තුති.

සරත් වෙත,
ඔබ හරි සරත්, අප ලොව අද වැඩිපුරම ධනයක් වැය කරන්නේ යුධ අවි, න්‍යෂ්ටික අවි වගේ දේ සඳහා. මේවා සියල්ල මිනිසා නැසීම ට නිපදවන දේවල්. ඕනෑම දෙයක් නසන්න ඉතා පහසුයි, ගොඩනගන්න අපහසුයි. ඔබ කියූ පරිදි අද අපි ආධ්‍යාත්මික අතින් පිරිහී ඇති බව සැබෑව. එනිසා අප හැකි අයුරින් අප බාල පරම්පරාව නැවත ආධ්‍යාත්මිකව පීලි ගත කල යුතුය. කුඩා දරුවන් ට රූපවාහිනී වලින් අද දක්නට ලැබෙන්නේ, සමාජයේ අසන්න දකින්න ලැබෙන්නේ මෙම පීල්ලෙන් පිට පනින්න උඩ ගෙඩි දෙන දේවල් මය. ඉතින් අපේ වගකීම විය යුත්තේ, අපට නැතිවුන ඒ සුන්දර පරිසර පසුබිම අප දරුවන් ට කෙසේ හෝ උදා කර දීමයි. සරත් ඔබට ත් තුති.