Saturday, August 2, 2014

ඔබේ දරුවාට "එපා" කියන්න පෙර සිතා බලන්න

කුඩා දරුවන් නිතර කුතුහලයෙන් සිටිනා පිරිසකි. ඔවුන් තමන් අවට පරිසරයේ සිදු වන දේ පිළිබදව නිතර අවධානයෙන් සිටී. කලතුරකින් අවස්තාවක හැරුනු කොට ඔවුන් නිකරුනේ කාලය නාස්ති නොකරයි. මොවුන් නිතරම කුමක් හෝ ක්‍රියාවක් ඒ පිළිබද අවධානයෙන් (සම්මා සතියෙන්) කරනා පිරිසකි. මා මෙම නිරීක්ෂනයන් ලබා ගත්තේ මගේම දරුවා ගේ ක්‍රියාකාරකම් වලිනි.

මට අත් දකින්නට ලැබෙන ආකාරයට 80%ක් පමන කුඩා දරුවන්ට දවසේ වැඩිපුරම අසන්නට ලැබෙන්නේ "එපා" යන වචනයයි. දැන් එක පාරට හිතන්න එපා මා ළමයින්ට "එපා" කියන එක නවත්තන්න කියන්නයි හදන්නේ කියල. දෙමාපිය, වැඩිහිටි අප කුඩා දරුවන්ට නිසි මග පෙන්වන්නන් ය. එය අපේ යුතුකමක් මෙන්ම වගකීමකි. "එපා" කිව යුතු තැන කිව යුතුය. මා පෙන්වා දීම ට උත්සහ කරණුයේ ර්‍රට මදක් වෙනස් කරුණකි.

මගේම පුතා හා බැදුනු මෙම උදාහරණය සලකා බලන්න:

පුතා කාමරය ට පැමිණ මේසය මත නගී, මා "පුතා එපා මේසෙ උඩ නගින්න" යැයි කියයි. ඔහු මේසෙන් බැස පුටුව මත නැග බිමට පනින්නට පටන් ගනී. මා නැවතත් "එපා පුටුවෙන් පනින්න" යැයි කියයි. ඔහු ඊළගට ඇදට නැග බිමට පනින්න ගනී. මා නැවතත් "එපා පුතා" යැයි මදක් තදින් කියයි. ඔහුට කරන්නට දෙයක් මේ කාමරයේ නැති තැන ඔහු සාලයට ගොස් සෙල්ලම් බඩු සියල්ල බිම දමා සෙල්ලමක් පටන් ගන්නට මුල පුරන විට අම්මා පැමින "ඔක්කොම සෙල්ලම් බඩු බිම දා ගන්න එපා" යැයි කියයි. දරුවා ඉතා කලකිරීමකට ලක් වයි.

දෙමාපියන් දරුවාට "එපා" කියනවා මිස, "කරන්න" දෙයක් යෝජනා කරන්නේ නැති කමින් දරුවන් දැඩි අපහසුතාවට පත්වේ. "එපා" කියන්නට පහසු නමුත් කිරීම ට දෙයක් ‍යෝජනා කිරීම බහුතරයක් දෙමාපියන්ට අපහසු කරුණක්ව ඇත. මෙය හුදෙක්  දෙමාපියන් ගේ අනුවන කම නිසා සිදු කරන ක්‍රියාවකි.

එසේනම් අප කල යුත්තේ කුමක්ද? දරුවන් ගේ ආරක්ෂාවට, ඔවුන් හරි මග ට යොමන්නට "එපා" කිව යුතුය. නමුත් "එපා" කියන්නට පෙර වෙනත් විකල්පයක් යෝජනා කිරීමට තිබේදැයි සොයා බලා එම යෝජනාවත් සමග "එපා" කියන්න. "ඕක එපා පුතා අපි මෙන්න මේ දේ කරමුද?" ලෙස දරුවා සමග එක්ව යමක් කරන්න. දරුවන් සැම විටම අම්මා, තත්තා සමග සෙල්ලම් කිරීම ට ද කැමත්තක් දක්වයි. දෙමාපියන් දරුවන් කුඩා කල සිට ඔවුන්ගේ සිතැගි, හැසිරීම් තේරුම් ගනිමින් හරි මග පෙන්වන්නේනම් වඩාත් සුදුසු යැයි මට හැගේ. එමෙන්ම, කෙතරම් රාජකාරී බහුල උවත් තම කුඩා දරුවා සමග සැළකිය යුතු කාලයක් ගත කරන්න. ඔබ නොදැනීම ඔවුන් ලොකු මිනිසුන් වේ. ඔබ එදාට පසුතැවීමක් ඇති නොවන්න අදම වග බලා ගන්න.

කුඩා දරුවන් යනු අප හිතන් සිටිනවාට වඩා අප ගැන සිතන පිරිසකි.

- අනුරාධ -

Saturday, May 5, 2012

කලකට පස්සේ ලියන්න ගත්තේ...

අද වෙසක්. ගෙදර හරි හරියට වැඩ, කූඩු හදනව, බකට්, පහන් පත්තු කරනව, හතර දිබ්බාගෙම ඇහෙන්නෙ බක්ති ගී, බණ, පන්සිල්. උදෙන් ම පන්සල් ගියා, ගෙහුන් බණ පදයක් අහල හෙම එන මග දුන්න බෙලි මල් දන්සැලෙන් උගුරක් දෙකක් කට ගාලා ගෙදර ආව. හවස් ජාමෙ දි පුතන්ඩියත් එක්කල සෙල්ලම් කරල වෙස්ක් සැරසිලි කරා. ඕන් ඒ ගමන අපේ මායිය ගෙ ආසාවල් ඉස්ට සිද්ද කොරන වෙලාව, රාත්තිරියෙ කොළොන් තොටේ වෙසක් සිරි බලන්න, දන්සැල් කන්න යන්න තකහනියෙ ලෑස්තිය.

මෙතන ඉන්න අපේ පොඩි හාදය ට "වෙසක් කූඩු" කියන්න බෑ තාම, හැබැයි අපි ට වත් කියා ගන්න බැරි නමක් තමා උන් දැ කියන්නේ, "එතිස් කූඩු". කොහෙන් පාත් උනා ද බොලේ ඒ නම?.

ගෙදර උන්දැ දුම්මල වරම අත ට ගන්න කලින් මේ කෙටිල්ල නවත්තල හනික ලැහැත්ති වෙන්න ඕන.

බුදුන් ගේ තෙමගුල සිහි කරන මේ වෙසඟේ, මයෙ හිත් පොජ්ජේ තියෙන පැතුම මේකයි. "අපේ මිනිස්සුන් ගෙ හිත් නිවිල, වෛරය, ක්‍රෝධය නැති සාමකාමී ලෝකයක් බිහි වෙන්න කියල".

බුදු සරණයි!.

Friday, November 11, 2011

කාලයා පියඹාවි නොනැවතී නොම තැවී - දින ගණන් සති ගණන් පියාඹයි නොම ගැණී
කල දේ ට වැඩිය ඇත නොකල දේ ගොඩ ගැහී - අඟවමින් ජීචිතේ කෙටි කියා නොසිතු සේ
සමුගන්න මේ ලොවින් හිස් මිනිස්සුන් නොවී - දිරි ගන්න මුලු හිතින් ජය ගන්න සිත තොසෙන්

එකොළහයි/එකොළහයි/එකොළයි අද දිනය - එකොළහයි:එකොළහයි:එකොළහයි හෝරාච
පතමු පැතුමක් එක ට ගයමු ගී සාමය ට - ගෙචෙන හැම තත්පරෙම යොදමු යහ දියුණුච ට...

අනුරාධ... 11/11/11. 










Saturday, March 27, 2010

පාරාදීසයේ රිදී තාරකාව...


සෙනෙහසට අරුත් බොහෝමයි. සෙනෙහස විදින, පුදන විධි ද බොහෝමයි. ජීවිතයේ අදියරෙන් අදියර ගලා යන ගමනේ මා ගේ සෙනෙහස පිදූ විධි ද එමටයි! අද දින මාගේ සෙනෙස් ගගුල ට තවත් අතු ගංගාවක් එක් වුණි. ඒ ගඟේ නම තාම මම නොදණිමි.

මධූ සහ මාගේ සොදුරු පාරාදීසයේ අලුත් රිදී තාරකාවක් අද පෑයීය. ඒ නව මසක් තිස්සේ පේවී රකිමින් ඇගේ කුස තුළ දැරූ අපේ කිරිකැටි පුත් කුමරාය. මවකගේ සියලු ලක්ෂණ දැරූ ඈ, නිරෝගී, සොදුරු සිඟිත්තෙක් අද මෙලොව ට බිහි කලාය. ලඳකගේ සුකුමාල බවත්, මවකගේ ස්නේහයත් ඈ තුල සමබරව පැවතිණි. ඈ ගත කල නව මාසය භාවනාවක් මෙන් විය. ඒ භාවනාවේ ඵලය අද ඈ විදින්ණීය.

ශල්‍යාගාරය ට මා ද ඇතුලු විණි. ඇගේ අතින් අල්ලා ගත් මා වෙදැදුන් සිය කාර්යය ඉටුකරනා තෙක් ඈ අසලම රැදී සිටියෙමි. දරුවකු මෙලොව බිහි වන වේදනාව, දිරියෙන් යුතුව දරාගෙන සිටි ඇය දෙස බලා සිටි මා හට මගේ අම්මාත්, ඇගේ අම්මාත්, ලොව විසිර සිටින අම්මාවරුන් වත් ඉතා සෙනෙහසින් සිහි වුණි. දරුවා මෙලොව එලිය දකින විට මා හට මෙලොව සිටින සතුටු ම මිනිසා මා යැයි ද, දිරිය කාන්තාව මධූ යැයි ද දැනෙන්න ට විණ. මෙය බොහෝ සැමියන් ට දැනෙණ දෙයක් යැයි මට සිතේ.

ළඳක් උපන් දින පටන් බොහෝ දුක් ගැහට විදී. කෙදිනක හෝ මවු පදවිය ලබන ඈ මෙලොව රජුන් බිහි කරන දිරිය මවක් වන්නීය. අප සමාජයේ ඈ ට නිසි ගෞරවය ලැබිය යුතුය. එමෙන්ම එම ගෞරවය ලබා ගැණීම ට සුදුසු සේ කාන්තාවන් ජීවත් විම ද අවැසි කරුණකි.

මෙම සටහන මා ඉතා කලබලයෙන් තබන්නකි. ඒ මන් ද යත්, තව සුලු මොහොතකින් මා නැවත මධූ සහ පුතා බැලීම ට රෝහල ට යායුතු නිසාවෙනි. කලබලයෙන් වුව ද මගේ පැතුම මෙහි සටහන් තබා මම නවතිමි.

"පුතේ,... අද ඔබේ ජීවිතේ පළවෙනි දවසයි. මගේ සහ අම්මාගේ නව දිවියේ ද පළමු දවසයි. ආගම දහම ට ලැදි, කිසිවෙකුට කරදරයක් නැති, උගත්, බුද්ධිමත්, නිරෝගී, කඩවසම් මිනිසෙකු වන්න. රට යන ආරෙට නොව නිතැතිව හරි මග යන්න. එවිට ඔබ තරු අතර දිදුලමින් ලොව එලිය කරන පුන් සඳක් වනු නොඅනුමාණය."

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙස ට නොම වේ ය දුරු...

Tuesday, November 3, 2009

කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ

කොළඹ සහ තදාසන්න පෙදෙස් වල දුවන පුද්ගලික බස් කොන්දොස්තරලා ට ළඟදී සිට බරපතල රෝගයක් වැලදී ඇත. මෙය කෙමෙන් ලංගම කොන්දොස්තරලා ට ද බෝ වෙමින් පවතී. මෙම දරුණු රෝගී තත්වය රට තුලට පැතිර ගොස් ගම් දනව් වල සිටින කොන්දොස්තරලා ට ද වැළදීමේ මහා අවධානමක් ඇත. මෙම රෝගී තත්වය මීට පෙරද කිහිප දෙනෙකුගෙන් දිස්වුණද මෙතරම් ආක්‍රමණශීලී වර්ධණයක් නොතිබිණ.

මෙය කොන්දොස්තරයන් ට කලක් තිස්සේ වැළදී තිබෙන "අකරුණාව", "පොල් පැටවීම", "ටිකට් නොදීම", (තව ඇත) රෝගයන් ට අමතරව හට ගත් තත්වයකි. මෙය "මාරු නැතෝ" ඉංගිරිසියෙන් කියතොත් "No Change" syndrome නැමති භයානක රෝගී තත්වයයි. මා ඇතුලු බොහෝ දෙනෙකුගේ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණ නම් මෙම රෝගී තත්වයෙන් පීඩා විදින්නේ කොන්දොස්තරයන් නොව අසරණ මගියන් බවය. කොන්දොස්තරයන් මෙම රෝගී තත්වය නිසා අසාමාන්‍ය ලෙස අයුතු මුදල් ලාභ ලබන බව වැඩිදුර පිරික්සුම් වලින් සනාථ වී ඇත.

මෙම රෝගීන් හදුනා ගැනීම ඉතා පහසුය. අපි උදහරණයක් ගනිමු. ඔබේ ගමන් ගාස්තුව රු 6.00 කි. ඔබ පහේ කාසියක් සහ දෙකේ කාසියක් කොන්දොස්තර අත තබයි (රු 7.00). ඔහු ඔබ ට ප්‍රවේශ පතක් දී හෝ නොදී "මාරු නෑ" වැනි වදනක් සමඟ ඔබෙන් ඉවත් ව යයි. ඔබ ට රුපියල ක පාඩුවක් හිමි වේ. ඔහු ට රුපියලක් ලාභ වේ. තවත් විටෙක ඔබේ ගාස්තුව රු 25.00ක් යැයි සිතමු. ඔබ රු 50.00ක් ඔහු අත තබයි. "පහක් දෙන්න, මාරු නෑ" යනුවෙන් කොන්දොස්තර පවසයි. ඔබ ළඟ රු පහක් තිබුණහොත් ඔහුගේ රෝගී තත්ත්වය සමනය වේ, නැතිනම් ඔහු රු 20.00ක් ඔබ අත තබා (ප්‍රවේශ පත ඇතුව/නැතුව) නිහඬව හෝ "ඉතුරු බහිද්දි දෙන්නං" ලෙස පවසා ඔබෙන් නික්ම යයි. ඔබ සම්මා සතියෙන් යුත්තෙකු නම් බසයෙන් බැසීම ට පෙර ඉතිරි සල්ලි ඉල්ලා ගනී, එවි ට අකැමැත්තෙන් වුව ද කොන්දොස්තර ඔබට ඉතිරි දීම ට පෙළඹේ. නැති නම් ඔබේ පාඩුව රුපියල් පහකි.

මෙහි භයානක තත්ත්වය නම්, ඉතිරි ඉල්ලූ විට මගියාට බැණ වදින, අපහාස කරන දරුණු රෝගීන් ද සිටීමයි (Chronic No Change). මේ නිසා වැදගත් අහිංසක මගීන් බොහෝ විට ඉතිරි ඉල්ලීම නොකරයි. මෙය කොන්දොස්තරගේ රෝගය ට උල්පන්දන් දීමකි. මේ සඳහා සමහර කොන්දොස්තරයන් ඉතා භයානක මූණක් ද ආරූඨ කර ගනී. අසරණ කාන්තවන්, ළමුන්, වැඩිහිටියන් මෙම මුහුණ ට බිය වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතුය. එවන් බස් කොන්දස්තරයන් ගැන මගී ප්‍රවාහණ අධිකාරියට හෝ පොලීසියට පැමිණිලි කළ යුතුය.

කොන්දොස්තර ගේ රැකියාව වන්නේ, මගීන් ගෙන් ගමන් ගාස්තුව නිවැරිදි ලෙස ගෙන, ප්‍රවේශ පතක් දී ඔවුන් ව නිසි අයුරින් බස් රථයේ අසුන් ගැන්වීම හා හිට ගැන්වීමයි. මීට අමතරව, නිසි ගමනාන්තයෙන් බැස්සවීම ද සේවයේම කොටසකි. බස් රථය තුළ මගීන් ගේ වගකීම රියදුරු මෙන්ම කොන්දොස්තර අත ද එක හා සමානව පවතී. මෙහිදී "මාරු නෑ" කීයා ඉතුරු සල්ලි නොදීම කිසි සේත් අනුමත කළ නොහැක. අනික එය නීති විරෝධී ද වේ. නියම ගාස්තුව ගෙන ඉතුරු සල්ලි දීම ට කොන්දොස්තර නීතියෙන් බැදී ඇත. මේ බව මගීන් හොඳින් අවබෝධ කර ගත යුතුය. මෙම රෝගය තුරන් කළ හැක්කේ මගීන් ට ම පමණකි. මගීන් වන ඔබ ඔබට අදාල ගාස්තුව ගෙචා, ප්‍රවේශ පත ගෙන අදාල ඉතුරු මුදල් ද ලබා ගැනීම ට වග බලා ගන්න. ඔබ දහදිය මහන්සියෙන් උපයා ගත් සත පනහ වුව ද කොන්දොස්තරයන් ට පුදන්න ට අවැසි නැත.

මෙලෙස මගීන් ගේ මුදල් වංවා කළ ද කොන්දොස්තරයන් ට වන සෙතක් ද නැත. ඔවුන් ගේ කිසිදු දියුණුවක් පෙනෙන්නට නැත. ඔයාකාරයෙන් කොල්ල කන මුදල් වලින් හවස ට රා අරක්කු බී තුට්ටු දෙකක් අතේ තියන් ගෙදර යන ප්‍රතිශතය ඉතා ඉහලය. ඔවුන් ට මෙම මුදල් යා දෙන්නේ නැත. එය නිතර දෙවේලේ බස් රථ වල යන/නොයන ඕනෑම කෙනෙකුට පෙනෙන සත්‍යයකි.

ඔබේ රුපියල ඔබට වටී, කොන්දොස්තරගෙන් ඉතිරි ඉල්ලීම ට ලැජ්ජා නොචන්න.! මෙම රෝගය බෝවීම වැලක්වීම කළ හැකි එකම පිළියම නම් ඉතිරි ඉල්ලා ගැනීම ම පමණි. ඔවුන් ට හිස ඔසවන්න ඉඩ නොතබන්න. ඒ මන් ද යත් මෙම රෝගයෙන් පීඩා විදින්නේ කොන්දොස්තර නොව මගීයා වන ඔබ නිසාවෙනි.


Wednesday, September 9, 2009

අද 09/09/09

අප බොහෝමයක් දෙනා රටා වල ට ඇලුම් කරති. රටාවකට නිමවූ පැදුරු, ඇදුම් මෝස්තර, රටාවක් සහිත දුරකතන නොම්මර, වාහන නොම්මර. රටාවක ට මිදුල අමදින්නත් අපි සමහරු සමතුන් වෙත්. රටාවක ට ජීවත් වන්නත් ඉගෙන ගන්නේනම් ඉතා අගනේය. මට තකහනියේ මේ රටා ගැන ලියන්න සිතුනේ අද දවසත් රටාවකට පිහිටි දිනයක් වන නිසාවෙනි. අද 2009 සැප්තැම්බර් නව වෙනිදා ය, එය අංකික අයුරින් ලියන්නේ නම්, 09/09/2009, කෙටියෙන් 09/09/09. අපේ රටේ සහ ලොව සමහර රට වල දනා නවය නපුරු ලෙස සිතුවත් මට නම් එහි කිසිදු නපුරක් හෝ නරකක් නොපෙනේ. අද දින රාත්‍රී නවය ට, එනම් 09/09/09 දා 09:09 ට හැකි සැම දෙනා ම තම ජීවිත වල ට නව අරුතක්, හොඳ වෙනසක් ඇති කරගන්න අදිටන් කර ගන්න. නවය නපුරු නොව, නවය "නව" දිවියකට පා තැබීමේ අංකයක් ලෙස සිතා අද දිනත් ඉදිරි ජීවිත කාලයත් සුබවාදී ලෙස ගෙවීම ට ඔබ සියල්ලන් ට හැකි වේවා යැයි මම පතමි.

Friday, June 26, 2009

විදුලි සංඥා හා පොලිසිය

කොළඹ සමයං එම ට යි නොවැ. ඉතින් මේකත් ඒ සමයං වලින් එකක් කියල හිතා ගත්තෑකි. උදෑසන රැකියාවට කොළඹ බලා යන උදවිය ට විදුලි මග සලකුණු සහිත හන්දි ගණනාවක් පසු කර යන්න ට සිදු වේ. මෙම හන්දි වලින් සමහර තැන් වල විදුලි එලි විධාන වල ට අමතරව පොලිස් මහත්තුරුන් ද රාජකාරියේ නියැලී සිටී. මොවුන් නලා වල කෙල පිරෙන තෙක් පිඹිමින් අත ගැලවී යන තෙක් වනමින් ඉතා උනන්දුවෙන් වාහන හසුරවනු දැකිය හැකිය. නමුත් වාහන තද බදයේ අඩුවක් නම් දිස් නොවේ. බොහෝ විට මොවුන් රාජකාරියේ නියැලී සිටිනා ස්ථාන වල තද බදය ඉතා වැඩි ගතියක් පෙන්නුම් කරයි. ඊට හේතුව නම්, වාහන පෙල එක දිගට ගලා ඒමේ දී සමහර ස්ථාන වල ආලෝක සංඥැ එලි වල ට අනුව ගමන් කරීමත් සමහර ස්ථාන වල පොලිස් මහතාගේ සංඥා අනුව ගමන් කිරීමත්ය. මෙම විධාන වල කාල පරාස වල තිබෙන්නා වූ පරස්පර බව නිසා මනා කලමනාකාරීත්වයකින් තොරව වාහන ගලනය සිදුවේ. මෙය තද බදය වැඩිකරන්න ට හේතුවක් වේ. තවත් කරුණක් වන්නේ, එක් පසකට ගමන් කිරීම ට මාර්ග බෙදා තිබීමයි. මෙය සමහර පෙදෙස් වල ට ගැලපුන ද සමහර පෙදෙස් වලට නොගැලපේ. මේ මා අවුරුදු කිහිපයක් උදේ හවා ගමන් කරන විට අත් දුටු දෙයකි. මාර්ග තදබදය ට හේතු බොහෝයි. නමුත්, පොලිස් හා විදුලි පාලන ලෙස ක්‍රම දෙකකට අනු ව නොයො දා විදුලි ආලෝක පාලනය පමණක් නගරය තුල ක්‍රියා කරවන්නේ නම් තදබදය මදක් අඩු කරගැනීම ට එය ඉවහල් වේ යැයි මට හැඟේ. සමහර පොලිස් නිලදරුවන් ට හතරමං හන්දියේ පාරවල් හතරටම සම සේ වාහන ගමන් කරවීම ට අමතක වන අවස්තා ද ඇත. එවිට එකම පාර ට දෙවරක් ප්‍රමුඛතාව දෙන අවස්තා ද මම දැක ඇත්තෙමි. සමහර පොලිස් නිලදරුවන් සංඥා ක්‍රම පහුණුව ට ද කාර්ය බහුල වේලාවල් යොදා ගැනීම මගී ජනයා ගේ කාලය නාස්ති වීම ට හේතු වේ.

නගර කළමනාකරනයේ එක් වැදගත් අංගයක් වන මාර්ග කළමනාකරනය අපේ රටේ නිසි ලෙස සිදු නොවන නිසා නුදුරු අනාගතයේ දී රටේ සියලු නගර වල ඉතා දැඩි වහන තදබදයක් ඇති වන බව පැහැදිලි කරුණකි. බලදරුවන් මේ පිළිබඳ ඉක්මන් පියවර නොගතහොත් නගරේ රැකියාව ට යාම කාටත් ඉතා අමිහිරි (දැන ට ද අමිහිරිය) කාරියක් වනු නියතය.

සංවර්ධන සංග්‍රාමය ට ජය වේවා.


Sunday, May 17, 2009

අලුත් ශ්‍රී ලංකාචකට ආරාධනා

අප බොහෝ දෙනෙක් මේ වන විට දන්නා පිළිගන්නා කරුණක් වෙයි, එනම් වේලුපිල්ලේ ඇතුලු කොටි රැසක් කොටු වී සිටි බවත්, දැනටමත් උන් සියදිවි හානි කරගෙන සිටින බවත් (මේවා නිළ නොලත් ආරංවි බව සළකන්න). මෙය අප වසර ගණනක් සිට බලාපොරොත්තුව සිටි දෙයකි. මෙරට ත්‍රස්තවාදය තුරන් වී සාමය උදා වන තුරු අප සියල්ලන්ම බලා සිටියේ නොඉවසිල්ලෙනි. එසේනම්, අද දින ඇතුලත නිළ වශයෙන් සාමයේ පණිවුඩය දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිමි.

හැකි සෑම නිවසකම ගොඩනැගිල්ලකම ජාතික කොඩිය ඔසවා සූදානම් වී සිටින්න.!

ජනපති, තුන්විධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක අංශ ඇතුලු සියලු දෙනාටම මාගේ හද පරි ප්‍රණාමය පුද කර සිටිමි. අපි වෙනුවෙන් ඔබ සියලු දෙනා ජීවිත, ලේ පිදූ හැටි මියැදෙන තුරා අප හදවත් තුළ රැඳී තියේවි.

විරං ජයතු ශ්‍රී ලංකා.

Tuesday, February 10, 2009

අති සුන්දර නගරයක් කරා...

"රමණීය නගරයක් ගොඩනගමු.", "සුන්දර නගරයක් බිහිකරමු", "නගරය පිරිසිදුව තබා ගමු" වැනි වැකි ලියැවුනු බෝඩ් ලෑලි මම අනන්තවත් දැක ඇත්තෙමි. මේවා දිස්කරවූ නගර හරහා වසර කිහිපයක් තිස්සේ ගමන් කර ඇත්තෙමි. නමුත් එයින් බොහොමයක් නගර තවමත් "සුන්දර නගර" වූ බවක් නොපෙනේ. මා ලියන්න ට හිතුවේ "කොළඹ කුණු" වැනි පරසිදු මැයක් නොවේ. නිතර කතා බහ වන මැයක් නොවුණත් කොළඹ කුණු මෙන් මෙන්ම මෙය ද නගර වනසන පිළිලයකි. මෙය "ඡන්ද කුණු" නම් වේ.

මේ දින වල මහ මග යන විට (මැතිවරණ පෙදෙස් වල) පාර හතර පැත්ත බැලූ විට පෙනෙන්නේ මොනවාද? එක එක අපේක්‍ෂකයින් ගේ සේයා රූ රැගත් පෝස්ටර් ය (poster යන්නෙහි හෙළ වදන?, "දැන්වීම" නොගැලපෙන බවයි මගේ හැගීම, "දැන්වීම = notice"). ඒව කොතරම් අලවා ඇත් ද කියතොත් දැන් ඇලවීම ට ඉතිරි ව ඇත්තේ ඡන්ද දායකයන් ගේ ඇඟවල් පමණි. සිරුරේ ඇලවිය හැකි පෝස්ටරයක් බිහි වූ දාට ඡන්ද දාට පාර තොටේ යාම නම් අපට ලේසි නොවේවි. මොන විනාශකාරී වැඩක් ද මේ උදවිය මේ කරන්නෙ...

මෙය ඡන්ද ව්‍යාපාරයක් ලෙසනේ හඳුන්වන්නේ. එවිට පෝස්ටර්, බැනර් (හෙළ වදන?),අඳින්නන් හට, මුද්‍රණය කරන්නන් ට, අලවන අයට, මෙකී නොකී මෙම කටයුත්ත ට සම්මාදම් වන හැම දෙනාටම ආර්ථික වාසි සැලසෙන නිසා මෙය රටේ ව්‍යාපාර වලට ද රුකුල් දෙන්නක් ලෙස සමහරු අරුත් දක්වති. මොන වාසි කවුරු කෙසේ ලැබුවද නගරයේ පිරිසිඳු බවට, අලංකාරයට මෙමගින් වන පාඩුව නම් මිළ කල නොහැකිය. ඊයේ මහනුවර නගරය හරහා කොළඹ කරා එන ගමනේ දී මා දුටු විනාශකාරී ඡන්ද ක්‍රියාකාරකම් මෙම සටහන ලිවීම ට මා පොළඹවන ලදී. මහනුවර ලෝක උරුම නගරයයි. මෙය අපේ රටේ අන්තිම රාජධානියයි, දළදා මාලිගාව, වැව රවුම අප කාගේත් ගෞරවය, ආදරය ට ලක්වූ තැන්ය. නමුත්, මට දකින්න ට ලැබුනේ ඒ ප්‍රෞඩත්වය සිත් උපදින දසුනක ට වඩා සිත කීරි ගැහෙන දසුන්ය. වැව රවුමේ ගල් බැමි මත නොයෙකුත් මෝඩයන් ගේ නම් සහ මනාප අංක යොදා කතිර ඇඳ තිබුණි. වැව රවුම වටා සැදි මහා රූස්ස ගස් කඳන් මත ද එලෙසම තීන්තයෙන් පොල් අකුරින් නොයෙක් නම්, අංක ලියා තිබුණි, නගර මැද විදුලි කණු, අත් වැටවල්, ගස්, ගල්, තාප්ප, වාහන, මෙකි නොකී සෑම තැනකම පෝස්ටරවලින් වනසා තිබුණි. එක මෝඩයෙකුගේ රූපය රෑ එලි වන විට ඉරා, මකා දමා තව මෝඩයෙකුගේ රුව අලවයි. මහපාරේ කහ ඉරි චලට වඩා ඡන්ද අපේක්‍ෂකයන්ගේ සලකුණු, අංක ලියා ඇත. මෙම කොළ, පාප්ප, බැනර් පාර පුරා කෑලි වලට ඉරා දමා තිබිණ. මැතිවරණය මැටිවරණය/මැට්ටන්වරණය ලෙස වෙනස් විය යුතු යැයි මට හැඟේ...

මේ අයුරින් සුන්දර නගර බිහි කල හැකිද? අප නිවෙස් වලින් පාරට දමන කුණු මල්ලේ සිට මේ සියලු අණුවන වැඩ නිසා සුන්දර නගර බහි වීම සිහිනයක් පමණක් වනු ඇත. නගර සභාව ට ම බැන වැදී වැඩක් නැත. නීතිය ක්‍රියා කරවිය යුතු දේශපාලකයින් මෙලෙස හැසිරෙන විට ඉන් පහළ අයට කෙසේ අචචාද දෙත් ද? දේශපාලකයින් ගේ සැබෑ ස්වරූපය නම් මෙම වැඩ වලින් මොනවාට පැහැදිලි වේ. මොන අලංකාර ආදර්ශ පාඨ අත දරා සිටියත් මොවුන් සියල්ලන්ගේම පොදු පාඨය වනුයේ "කෙසේ හෝ තමන් බලය ට පැමිණිය යුතුය" යන්නයි. ඉතින් නගරය බල්ල ට ගියාම උන්ට මොකෝ..

දැන් මේවා ට විසඳුම් ද යෝජනා කල යුතුයි නොවැ... මට හැඟෙන පරිදි ජනතා ඡන්දය ලබා ගැනීම ට මෙතරම් ප්‍රචාරණයක් දෙන්න ට අවැසි නොවේ. යම් අපේක්‍ෂකයෙක් ගම ට රට ට යහ සේවයක් කරයිද ඔහු ට/ ඇය ට ජනතා වරම ලැබීම වැලැක්විය නොහැක. නමුත් අද එවැනි සේවයක් නොවන නිසා ජනතාව අතරට යාම ට මෙම පිරිස් හට දැඩි වෙහෙසක් දැරීම ට සිදුවේ. ඉතින් මා මෙවන් යෝජනාවක් ඉදිරිපත් කරමි.

යෝජනාව:
චිත්‍රපටි දැන්වීම් දැමීම සඳහා වෙන්වූ දැවැන්ත පුවරු අප දැක තිබේ. සමහර ඒවා යම් යම් විත්‍රපටි ශාලා විසින් මිළදී ගෙන ඇත. මේ අයුරින් දේශපාලන පක්‍ෂ වල ට ද වෙන් වූ පුවරුව බැගින් නගරයේ තෝරා ගත් තැන් වල ඉදි කළ හැක. මෙම පුවරු මත අලවන ඉලව්වක් අලවා ගනීම ට ඒ ඒ උදවියට හැකියාව ලැබේ. අදාල පක්‍ෂය ට වෙන්වූ පුවුරුවේ එක් අපේක්‍ෂකයෙකු එක් පෝස්ටරය බැගින් ඇලවීම කල යුතුය. මෙවි ට ඉතා විධිමත් ප්‍රවාරණයක් සිදුවේ යයි මම සිතමි. ජනතාව ට ද හිසරදයකින් තොරව තමන් ට කැමති කෙනා ට අදාල විස්තරය දැන ගැනීම ට හැකි වේවි.

වාසි:
1. නගරය පුරා ඉතා මෝඩ ලෙස පෝස්ටර අලවමින්, පාරවල්, තාප්ප විනාශ කරමින් සිදුකරන නගර දූෂණය නවතී. අලංකාර සුන්දර නගරයක් බිහි කර ගැනීම ට මං විවර වේ.
2. ජනයා ගේ පෞද්ගලික දේපල වල ට හානි සිදු නොවේ (පුද්ගලික තාප්ප, චාහන).
3. පක්‍ෂ වලට වෙන්වූ පුවරු ඇති නිසා ජනතාව ට ඉතා පහසුවෙන් තමන් කැමති ඡන්ද අපේක්‍ෂකයා ගේ පක්‍ෂය, පාට, සලකුණ, අංකය දැක ගත හැකි වේ. මෙමගින් ජනතාව ට සිදුවන වැරදීම් අවම කර ගත හැක.
4. පොස්ටර ඉරා ගැනීම්, රාත්‍රී කාලයේ පක්‍ෂ සහයකයින් අතර සිදුවන ගැටුම් වල ට තිත තැබේ.
5. මත් දියර, කුඩු, ගංජා උරමින් රැය පුරා තරුණ ජීවිත දූෂිත වීම අවම වේ.
6. පෝස්ටර සහ අනිකුත් ප්‍රවාරණ කටයුතු වල ට දරන වියදමින් ගම ට සේවයක් කිරීම ට ඡන්ද අපේක්‍ෂකයා ට වාසනාච උදා වේ.
7. මැතිවරණ නොමැති කාල වලදී තමන් ට අදාල පුවරුව වෙනත් ආයතන වල ට කුලිය ට දීමෙන් පක්‍ෂයේ අරමුදල තර කර ගත හැකි ය.
8. තව සැඟවුණු වාසි බොහෝයි....

අවාසි:

1. අනුන්ගේ පක්ෂ පුවරු වලට තාර, ගොම ගසා විනාශ කරීම ට ඉඩ තිබීම. (මොළය කළඳක් නොමැති අපේක්‍ෂකයින් සෑහෙන ප්‍රමාණයක් අදට ත් සිටින නිසා.)
2. මුද්‍රණාල හිමිකරුවන්, අරක්කු (නීතිමය හා හොර), මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හට සෑහෙන පමණකට වෙළදාම් අහිමි වීම.

අනෙක් අවාසි නොසලකා හැරිය හැකි තරම් සුලු ඒවා ය.

මෙය කියවන මගේ හිතවතුන් හටත් තවත් කරුණු වලින් මෙම සටහන පොෂණය කළ හැක. ඉතින් නොමසුරුව ඊට දායක වන්න, දිනක මෙවන් අදහසක් මෙරට ක්‍රියාත්මක වූව හොත් එම අදහසේ කොටස් කරුවන් වීමේ භාග්‍යය ඔබ ට ද මට ද හිමි වනු ඇත.

ඊට පෙර, අඩු තරමේ මහනුවර වැව රවුම අවට වත් පිරිසිදු කර නැවත එහි සුන්දරත්වය අපට දැක ගැනීම ට සලස්වන්නේ නම් මැනවි. ජනපති මහින්ද මහතා නුවර පිහිටි එතුමා ගේ රජ ගෙදර ට යන විට වත්, මෙම විනාශය දැක ඊට පිළියම් යොදන්නේ නම් එය ලෝකු උරුම නගරයේ සුන්දරත්වය යලි අවදි කරීම ට රුකුලක් වේවි. අනිත් කරුණ නම්, මෙවන් ස්ථාන වල පෝස්ටර ඇලවීම, කුරුටු බලි ගෑම වහාම තහනම් කළ යුතුය. මහින්ද වින්තන වැඩ පිළිවලේ නගර සංවර්ධය ට මෙය ද චගන්තියක් ලෙස ඇතුලත් කරගන්නේනම් මැනවි. "මැතිවරණ සමයේදී පෝස්ටර් අලවා, බැනර් එල්ලා, පාරවල්, තාප්ප, ගහ කොළ තීන්ත ගා නාස්ති කර දැමීම සෑම පාක්‍ෂිකයෙකුටම තහනම්". නැතිනම් අපේ අනාගත පරපුරට සුන්දර නගර වෙනුවට දකින්න වෙන්නේ පෝස්ටර නගර එකතුවකි.

විනාශකාරී පෝස්ටර්/බැනර් නොගහන, පාරවල් විකෘති වන ලෙස මනාප ඉල්ලා කුරුටු නොගාන, ගම නගරය සුන්දරව තබා ගැනීම ට උර දෙන සියලු ඡන්ද අපේක්‍ෂකයින් ට ජය වේවා!



Monday, February 2, 2009

මේ කොහි යන්නේ? කුමක් කරන්නේ?

කෙමෙන් කෙමෙන් අප ලඟා වන්නේ දියුණුව කරාය. පුද්ගල, පවුල්, ගම් වල දියුණුව රටේ දියුණුවයි, එක් රටක් අනෙක පරයා යමින් දියුණුවේ දිනුම් කනුව සොයා දිව යයි. සිප්ලකු (තාක්‍ෂණික) දැණුම අතින් ඉතා දියණු තත්ත්වයක අද ලොව පවතී. අප මේ යන්නේ කොයිබට ද? දියුණුව යනු කවදා හෝ ලඟා වී නැවතිය හැකි දෙයක් ද?. එසේ අවසානයක් ඇති දෙයක් නම්, ඒ අවසානය කොතැන ද? කෙදින ද? මේ දියුණුව කා සඳහාද? මෙවන් පැන ගණනාවක් සඳහා මම සාධාරණ පිළිතුරු සෙවූයෙමි. මෙසේ ටික කලක් සිතමින් සිටින විට හදිසියේම මා හට දැණුනු දෙයක් ගැන ටිකක් වැඩිපුර අචධානයක් යෙදුවෙමි.

මේ දියුණු ගමනේ දී අනන්තවත් අප සොබා දහම ට අනුගත නොවන ක්‍රියාවන් සිදු කරයි. ගස් කැපීම්, ගංගා වැලි ගොඩ දැමීම්, වගුරු බිම් ගොඩ කිරීම්, මෙකී නොකී අපමන දෑ සිදු කරයි. මේ සියල්ල දියුණුවේ ගමනට මඟ පාදා ගන්න ට සිදු කල යුතු වැලැක් විය නොහැකි "සංවර්ධන ක්‍රියා දාමයන්" ය. මට තිබෙන පැනය මෙයයි, මෙසේ දිනෙන් දින මිනිසා විසින් සොබා දහම ට එරෙහිව සිදු කෙරෙන "සංවර්ධ ක්‍රියා දාමයන්", සොබා දහම කොපමන කලක් ඉවසාවි ද යන්නයි. කෙමෙන් මිනිසා සොබා දහම ට තර්ජනයක් වන නිසා තම ආත්මාරක්‍ෂාව පතා සොබා දහම පියවරක් ගත් විට මිනිසාට ඉන් කිනම් ඉරණමක් අත් වේද? මිනිසා ඕනෑම තර්ජනයකට සූදානම් බව නිතර අසන වැකියකි. එනිසා බිය වන්න ට කරුණක් නැතැයි සිතා සිටින්නන් ඉවක් බවක් නැතිව කරනා විනාශයන් නිසා දිනක සොබා දහම් මාතාව විසින් මිනිස් දරුවන් ට අවසානය උදා කරන බව මට හැඟෙන කරුණකි. ඔබ ට එසේ හැඟේ දැයි මම නොදනිමි.

සිප්ලකුවෙන්, යුධමය වශයෙන් අප සවි මත් බව සැබවි. නමුත් සොබ දහම් හමුදාව ට මුහුණ දෙන්න ට මෙම සිප්ලකුව, අවි ආයුධ වල ට හැකි වේවිද? උදාහරණයක් ලෙස, සුනාමි රළ පහර දෙන විට, එය නවතාලීම ට, ඊට ප්‍රති පහර දීමට යොදා ගත අවිය කුමක් ද? මට මතක හැටිය ට දෙපා වල ට වැඳ දිවගොස් පණ බේරා ගැනීම හැරුණු විට අප ට කළ හැකි වෙන දෙයක් තිබුනේ නැත. සුළිසුලං සුලි කරකවමින් හසු වන හැම දෙයක්ම වනසමින් ගම රට හරහා හමා යන විට එය වලකාලීම ට සමත් වූ සිප්ලකුව කුමක් ද? දිවි සිදෙන විට "බුදු අම්මෝ", "දෙවියනේ", "අනේ සාමී", "යා අල්ලා","ඕ මයි ගෝඩ්", "වට් ද ෆක්" මේ කිසිවක් කියා ගත නොහී අසරණව මැයැදී යන්න ට වෙයි. මෙවන් ස්වාභාවික පහර දීම් "ස්වාභවික විපත්" ලෙස (අනිව්ඡානුග/ඉබේ සිදු වන) වදනක් යොදා සැර බාල කොට ඇත. වදනේ සැර බාල වූවද පහර කෑමට ලක්වූවන් ට අත් වන ඉරණම නම් සුලු පටු නොවේ.

සොබා දහම සහ මිනිසා අතර ගැටුමේ එකිනෙකා සතු සිප්ලකු හා යුධමය බලයන් ගෙන් කිහිපයක් සසඳා බලන්න. මුලු හමුදාවක් සතු යුධ ටැංකි, බලෑනි සියයක් සුනාමි රළ පහර හා සටන ට යෙදූ විට කවුරු ජය ගනීවි ද? ගුවන් යානා බලෑනියක් රොකට්, මිසයිල සමඟ ටොනේටෝ සුලිසුළඟක් සමඟ සටන ට ගිය හොත් කවුරු ජය ගනීවි ද?. ග්ලැසියර් දිය වී මුහුදු මට්ටම ඉහළ ගිය විට අහිමි වන ගොඩබිම් නැවත ලබා ගැනීම ට හැක්කේ මොන රජයට ද, මොන සංවිධානය ට ද?... කිසිවෙක් ට කිසිවක් කරගත නොහැකිය. අප සියල්ලන්ම ජීවත් වන්නේ සොබා දහම් නීතිය යටතේ ය. මේ ලොවේ මොන පාලකයා ට වත්, රටක ට වත් සොබා දහම් නීතිය ට පිටු පෑ නොහැක. වැරදි කලොත් පගාව දී හෝ දේසපාලකයෙකු මගින් තර්ජනය කොට බේරී සිටින්න ට හෝ ලැබෙන්නේ නැත. දඩුවම ඒකාන්තයෙන් ම ලැබේ.

සොබා දහම ට එරෙහිව මිනිසා ගේ ක්‍රියාවන් ගැන ලියන්න ට මට මෙම බ්ලොග් සටහන නම් කිසි සේත් නොසෑහේ. නමුත්, ඉතා අල්ප වශයෙන් හෝ පෙනවා දෙමින් මා කියන්න ට උත්සාහ කරන්නේ අපි සියල්ලන්ම සොබා දහම ට එරෙහිව ඉතා අණුවන ගමනක යෙදෙමින් සිටින්නෙමු. මේ එකිනෙකා මරාගෙන සොයා යන සැනසුම කිසිවෙකුට ත් විදින්නට නොලැබෙන බව අපි නොදන්නෙමු. පිළිගන්නට ද සූදානමක් නැත. මේ සටහන කියවීමෙන් පසු මේ හා බැදුණ අනෙක් කරුණු ගැනත් සිතා බලන්න. මිනිස් වර්ගයා සොබා දහමට තර්ජනයකව ඇති සත්වයින් ලැයිස්තුවේ අංක 1 තැන හිමි කර ගෙන ඇත. හැම ලැයිස්තුවකම උඩින් ම ඉන්න කැමති මනු සතා ට මේ ලැයිස්තුවේ උඩින් ම සිටීම ගැන සතුටු විය හැකි ද?

හැලියේ වතුර රත් වන තුරු දිය කෙලින කකුළුවන් මෙන් අප උත්සව පවත්වමින්, සංවත්සර සමරමින් කල් ගෙවන්නෙමු. සොබා දහම මිනිස් දරුවන්ගේ මිනී වල කපා අවසන්ය. දැන් අප සියල්ලන් නට නටා ඇදී යන්නේ ඒ මිනී වල වෙතට ය.

"ඔහොම යං".







Wednesday, December 10, 2008

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...


මේ ... නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි..
මේ... නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි...

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

මේ.... නගරය

ඔබ අත ගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ... නගරය

මෙය මා ඉතා ආදරය කල, විටෙක ගත් කල මා ජීවිතය ට ද සබැදි ගීයකි. වරෙක ශ්‍රී ජයවර්ධන පුර සරසවි ගී පැදුරක දී විශාරද මනෝජ් පීරිස් ගේ සංගීතයත් මුසුව (2002 වසරේ දී) මම මෙම ගීය මහත් ආදරයෙන් ගැයුවෙමි. මෙම ගීයේ අයිතිකරු, ඒ ළයාන්විත හඩේ හිමිකරු මෙලෙස අපෙන් සමු ගනීවි යැයි එදා මම කිසි සේත්ම නොසිතුවෙමි.

සිංහල ගීත ලොවේ පෑයූ තවත් දුලබ, අගනා තරුවක් පසු ගිය ඉරු දින (07/12/2008) අප ගී අහසින් නිවී ගියේ ඒ හඩේ මිහිරියාව පමණක් අප ට ඉතිරි කරමිනි. මර්වින් පෙරේරා සංගීත වේදියාණෙනි, ඔබ ට මා නිවන් සුව පතන අතර, ඔබේ ගී හඩ අසන්නට ලැබීම මගේ ජීවිත කාලයේ මට පල දුන් පිණක් බව සිහි කරනු කැමැත්තෙමි.

මා සනසා.. මා නලවා..
සුරංගනාවක් සෙමෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී...

සේයා රුව ලබා ගත්තේ lankavideos.magnify.net වෙතිනි.

Wednesday, October 1, 2008

මහනුවර වතුරේ වස.

ඊයේ (30-09-2008) පාන්දර 1.30 ට පමණ මහනුවර සමහර පෙදෙස් වල වතුර ට වස චර්ගයක් මුහු කොට ඇතැයි කියමින් ශබ්ධ වාහීනී යන්ත්‍ර දමාගෙන වාහන වලින් ප්‍රචාරණයක් කර ඇත. සමහර පෙදෙස් වල කිහිප දෙනෙක් මිය ගොස් ඇති බව ට ද කතා පැතිරී ඇත. උදෑසන රූපවාහිනී පුවත් වලින් මෙය අසත්‍ය ප්‍රචාරයක් බව කියා සිටියේය.

මට මේ ගැන කිහිප විධියක අදහස් ඇත.

1. සමහර විට ඇත්ත ට ම යමක් සිදුවී ඇති මුත් රටේ අනිත් ජනයා කලබල වේ යැයි සිතා යට ගැසීම.
2. කවුරුන් හෝ කඩාකප්පල් කාරී පිරිසක් ගේ බොරු ප්‍රචාරයක්.
3. ත්‍රස්තවාදීන් ම බොරු ප්‍රචාරයක් යවා, මිනිසුන් කලබල කර, එය බොරු බව දැන ගන්න ට සලස්වා, කවදා හෝ ඇත්ත ට ම මෙවන් දෙයක් කර ජනයා එය පෙර සේම බොරුවක් යැයි කියා නොසලකා හැරීමෙන් විනාශයක් කරා යොමු වීම ට සැලැස් වීම.

මෙහි දී මාගේ වැඩි අවධානය යොමු වන්නේ තෙවැනි කරුණටයි. කොටියා ට අත් වී ඇති පරාජය මත දැන් ඉතිරිව ඇත්තේ "තොපිත් මරාගෙන අපත් මැරෙනවා" යන සංකල්පයයි. ඒ නිසා අප රටේ කොහේ සිටියත් හොඳට සිත ට ගත යුතු කරුණ වන්නේ "අප සිටින්නේ ද ක්‍රියාන්විත පෙදෙසක යි" යන්නයි. මන් ද යත් මේ මුලු ලංකාවම මේ අවස්තාවේ දී රුදුරු ත්‍රස්තවාදීන් ගේ ඉලක්කයක් වී ඇති නිසාය. මෙය පිළිගැනීම එතරම් අපහසු නොවේ, "යුද්ධය තියෙන්නේ වන්නියේ නම්, ඇයි කොළඹ, නුවර සහ අනිකුත් පෙදෙස් වල මෙතරම් බෝම්බ පිපිරෙන්නේ?" මට හිතෙන්නේ මේ මුලු රටේම යුද්ධය ඇති බවයි. එය එක එක ප්‍රමාණවලින් ඇති එක විතරයි වෙනස. ත්‍රස්තයින්ගේ තර්ජන ය අප හැමෝටමයි!! ඉතින් වතුර ට වස දැමීම වැනි දෙයක් පමණක් නොව, ඊට වඩා දෙයක් වුනත් කරන්න බැරිකමක් නෑ. ප්‍රභාකරන් ජීව අවි යොදා ගත්තේ මුල සිටමය. මිනිස් බෝම්බ යනු ජීව අවියකි!. රසායණික අවි ද යොදා ගැනීම ට නොහැකියාවක් නොමැති බව අප සිතිය යුතු කරුණකි.

මේ නිසා අප මේ යුද්ධය නිම වන තුරුත්, නිම වී කලක් ගත වන තුරුත් ඉතාමත් ම සැලකිල්ලෙන් කල් ගත කළ යුතුවේ. අප හැමෝගේම ජීවිත අනතුරේ ය! බොරු ප්‍රවාර වුවත් සොයා බලා බොරු යැයි සම්මත කොටගෙන මිස අහක දැමිය නොයුතුය.

අපි නිති විමසිල්ලෙන් සිටිමු. බෝම්බ ගැන පමණක්ම නොව, විය හැකි ඕනෑම දෙයක ට සූදානම් ව සිටිමු.

Saturday, September 27, 2008

පළවෙනියා විය යුතුම ද?

"පුතා/දුව මේ පාර පන්තියේ කීවෙනියාද?" පාසැල් යන ඕනෑම දරුවෙකු ගෙන් නිතර ඇසෙන පැනයකි මෙය. පළවෙනි, දෙවෙනි, තෙවැනි තැන් ගත්තවුන් නොපැකිලිව පිළිවඳන් දෙන මුත් පහත් ශ්‍රේණියක් ගත් දරුවෙකු ට මෙය එතරම් සතුට දනවන පැනයක් නම් නොවේ. මෙයිනුත්, පළවෙනි තැන ගත් දරුවෙකු ට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළය. නමුත් සමහර තරඟ විභාග වලින් පළවෙනියා වීම එතරම් ම සතුට දනවන්න දෙයක් නොවේ. මෙය මගේ අත්ඇකීමකි.

චසර 1992. එකල මම පාසැලේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අප දිස්තිරික්කයේ පාසැල් කිහිපයක් තෝරාගෙන තරඟ විභාගයක් පැවැත්විණ. මෙය මාර්ග නීති පිළිබඳ ව දැණුම උරගා බැලීමේ විභාගයක් විය. පැයක ප්‍රශ්ණ පත්‍රයක ට පිළිතුරු සපයා සති දෙක තුනක ට පසු ප්‍රතිඵල නිකුත් විණ.

මගේ මිතුරෙකු ට පළවෙනි තැන හිමි වී තිබිණ. මට දෙවන හෝ තෙවැනි තැන හිමි වී තිබිණ. (හරිය ට ම මතක නැත). මගේ මිතුරා සතුටින් ඉපිලී ගියේය. අපගේ මීළඟ කුතුහළය වූයේ අප ට හිමි වන්න ට යන තෑගී පිළිබඳවය. නොබෝ වේලාවකින් අප ට තෑගි ලබා ගැනීම ට කාර්යාලය ට ඇරයුම් ලැබිණ.

තෙවනි සහ දෙවැනි තැන් හිමි අය ට මුදල් තෑගි දෙකක් සහ සැනසිලි තෑගි ලැබිණි. පළවෙනි තැන හිමි කෙනා ට එක් වසරක ට වලංගු වන රු 5000ක් වටිනා හදිසි අනතුරු ආරක්‍ෂණයක් පිරිනැමිණ. සියල්ලෝ සතුටින් විසිර ගියෝය.

අප නම් අප ට ලැබුණු තෑගි බුක්ති වින්ද මුත් පළවෙනියා ට නම් තමන් ගේ තෑග්ග දැකගන්න ට වත් නොහැකි විය. වසරක් ගෙවී හදිසි අනතුරු ආරක්‍ෂණය කල් ඉකුත් වූව ද ඔහු ට ඉන් ප්‍රයෝජන ගැනීම ට හදිසි අනතුරක් සිදු කර ගැනීම ට නොහැකි විය. ඉතින් අප ඔහු ට ඒ දින වල ලොරි, බස් පෙන්වා "ඔන්න තෑග්ග ගන්න නියම වෙලාව, හැප්පියන්!!!" යනුවෙන් ඔච්චම් කළ වාර අනන්තයි.

මා කියන්න උත්සාහ ගන්නේ මෙයයි. සෑම විට ම කරන විභාගයක හෝ ක්‍රියාවක වෙනියා හෝ ලැබෙන වාසි බලාපොරොත්තුවෙන් නොව, තමන්ගේ දැණුම, ශක්තිය උරගා බැලීමේ අවස්තාවක් යැයි සලකා උපරිම හොඳින් මුහුණ දිය යුතු ය යන්නයි. මන් ද යත් ජීවිතයේ සෑම විටම ලැබෙන ජයග්‍රහණ වලින් අප බලාපොරොත්තු වන වාසි අප ට නොලැබිය හැකි නිසා.

අප ඉගෙන ගත යුත්තේ විභාග සමත් වීම ට නොව ජීවිතය සමත් වීම ට ය. විභාග යනු අප දැණුම ගැන අප ට මැන ගත හැකි මිණුම් දණ්ඩක් පමණි. ඔබ ජීවිතය සමත් වීම ට සිතුවහොත් විභාග ඉබේම සමත් වනු ඇත. කාල වේලා ඇති විටෙක මේ ගැන මදක් සිතා බලන්න.

Thursday, September 4, 2008

අනගි ඔවදන

ගිය සතියේ මගේ නැගණියක ට (මගේ බිරිඳගේ) සිංහළ පන්තියේ පැවරූ වැඩයක් විය. එනම් ජනකතාචක් ගීත මය නාට්‍ය පිටපතක් ලෙස ලියාගෙන එන්න ට ය. ඇය ඉංගිරිසියෙන් ඉගෙන ගන්නා ළමයකු නිසා මෙය කරවා ගන්න ට මගෙන් උදව්වක් ඉල්ලුවා ය. මම, කතාව කියවා බලා මා දන්නා හැටියට පද පෙළක් ලියා දුන්නෙමි. පසුව එය මෙසේ තුරුදැල ට ද එක් කර අනෙකුන් හා බෙදා ගන්න ට ද සිතීමි.

මෙය පෙර රජ දවස ක වඩුවෙකු විසින් රජු ට කර දුන් කැටයම් වල ට ගෙවීමක් ලෙස අවවාදයක් ඉල්ලා එලද ඔවදනේ පිහිටෙන් තමන් හට වන්න ට තිබූ මහා විපතක් වලක්වා ගත් හැටි කියැවෙන අපූරු ජන කතාවකි. මෙහි ගැබ්ව ඇති හරය සහ පණිවිඩය වන්නේ "මිළ මුදල් සම්පත් කෙදින හෝ අපෙන් නැතිව යන බවත්, ජීවිතය ට වටිනා ඔවදන් අප දිවිය ට මිළ කළ නොහැකි සේවයක් ඉටු කරන බවත් ය."

කියවා බලා අදහස් ඇතොත් ලියා දක්වන්න ඇරයුම් කරමි.

පොතේ ගුරු:

බොහෝ ඉස්සර කාලෙක
ලංකාව නම් රටක
හද්ද පිටිසර ගමක
දක්‍ෂ වඩුවෙක් හිටිය කාලෙක

ලී යෙන් කළ දස්කම්
කැටයම් නොයෙක් විස්කම්
ලෙසින් මහ හාස්කම්
කරයි වඩුවා අනගි වඩු කම්

මුහුණ පුර සඳ මෙනි
නෙත් මැණික් කැට මෙනි
සුරඟන ට නොදෙවෙනි
'සඳවතී' නම් ඇගේ නම විණි

දිනක වුනි හරි වැඩක්
නොසිතූ ලෙසින් කිසිවෙක්
ආවා රජ අණක්
හිත ට දැණුනා මහ චකිතයක්


වඩුවා:

(වඩුවා සොවින් තැවෙමින් සිතයි)

එන්න ට කිව්වේ රජු මට කුමකට
දන්නේ නැහැ මම හිත මගෙ සලිතයි
සඳවති ගැන රජු සිත් ඇඳිලා වෙද?
මට මගෙ සඳවති යත් නැති වේවි ද?

යන්න ට වෙයි දින ගණනක් දුර දුර
ආපසු එන්න ට වෙන දින බොහො දුර
බිරිඳත් දරුවත් දමලා යන දුර
දුරලන්න ට හැකි වේවි ද දුක් දුර

(ශෝකයෙන් බිරිඳ සහ දරුවා දෙස බලා)
අකීකරු වෙන්න ට රජු ට
බැරිය මට කිසි ම විට
කිරිය යුතු වැඩය මට
නොදනිමී මම දැනට

(බිරිඳ දෙස හැරෙමින්)
මට හැඟෙන විලාසෙට
රජු ට සිත් පහළ වී ඇත නුඹට
අහෝ එය එසේ වේවි ද?
මට ඔබව අහිමි වේවි ද?

(දරුවාගේ හිස පිරිමදිමින්, දෙදනා ට ම සමු දෙමින්)
මම ගිහින් එන තුරා
ඉඳිනු මැන පරිස්සම් වෙලා
හුස්ම මගෙ ඇති තුරා
නුඹල දෙදනා රැදෙයි මගෙ සිත් පුරා

පොතේ ගුරු:

බිරිඳ සිහි වන්නේ
දරු ද සිහි වන්නේ
දින දින ගෙවෙන්නේ
කල්පයක් සේ ඔහු ට දැනුනේ

පුරා තුන් වසරක්
කලා කැටයම් රැසක්
ගමින් සිත් සුව හසක්
වඩුව වඩුකම් කලා සහසක්

රජු පැවරු පරිද්දෙන්
කැටයම් කලා ලීයෙන්
කාරිය නිමාවෙන්
යන්න කාලය උදා විය ඉන්

රජු පැමිණෙන්නේ
වඩුවා අමතමින්නේ
වාඩුව දෙමින්නේ
ඕන මොනවා දැයි අසන්නේ

රජු:

ප්‍රීතී ය වඩුව මට
කර ඇති ඔබේ වැඩ දැක
තුටු පඩුරු දෙන ලෙසට
අවැසි දේ කිම වේ ද කිව මට

පැවරූ වැඩය බොට
කර ඇති නිසා හොදට
අවවාදයක් හෝ මුදලකට
චාඩු ව ගෙවිය හැක ඉතිං මට

වඩුවා:

(මදක් කල්පනා කරමින්)

මුදලක් ගත්තොතින් මේ මා කළ වඩට
එය නැති වෙනව අපි කා බී ඇන්ද විට
මොනයම් දෙයක් ගෙන යා හැකි නම් දිගට
මුදල් නොවේ අවවාදය වේය මට

රජුගෙන් ඔවදනක් ගතයුතු යැයි සිතමි
මුදල් නොඉල්ලා ඉන්නට යැයි සිතමි
එය මහ වටින කරුණක් යැයි මම සිතමි
රජු දෙන ඔවදනත් ගෙන මම යමි සිතමි

(රජු ට වැඳ යටහත් පහත්ව තමා අවුරුදු තුනක් කළ ලී කැටයම් වල ට ගාස්තු ලෙස වටිනා අවවාදය ක් දෙන ලෙස ඉල්ලා සිටියේය)

පස්වහන් දහසක ට බුදු වේ රජතුමනි
සේවය කලේ ඔබ හට මා සිත තුටිනි
මා කල වැඩය වෙනුවෙන් මට රජතුමනි
දෙනුමැන ඔවදනක් දිවි සරු වෙන ලෙසිනි

(රජු ප්‍රීතියෙන් යුතුව මේ බුද්ධිමත් වඩුවා ගැන තවත් පැහැදී, ඉල්ලීම පරිදි "කනින් ඇසූවත් ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස කරන්න එපා" යනුවෙන් ඔවදනක් තල්පතක ලියා වඩුවාට දුන් සේක)

පොතේ ගුරු:

පඩුරු ගෙන ප්‍රීතියෙන්
වඩුව නික්මෙයි හනිකයෙන්
යන ගමන් මඟ තොටින්
අසයි අඹුදරු විත්ති සතොටින්

මග යන අය කිසිත්
නොදන්නා බව කිය කිසිත්
වඩුව ගෙ හිතට කිසිත්
හිතා ගත නොහැකීය මේ කිසිත්

(මඟ තොට දී මිනිසුන්ගෙන් ලැබූ ආරංවි නිසා සිත කලබල වු වඩුවා නිවසට නොයෑමට සිතයි)

සැක සිතිනි වඩුව ට
ගියා යැයි අඹුව පිට
පැන ගියයි දරුව පිට
අහෝ යැයි ඔහු සිතිය පිට පිට

නොයන්න ට සිතා නිවසට
නැවතුනු විසල් ගසක් යට
ගෙන රජ පඩුර ඉවතට
කියව බැලුවා එයද නිකමට


(වඩුවා රජු දුන් ඔවදන ගෙන කියවා බලා කම්පා වී, කුමට සැක කරන්නෙමිද මා, ගොස් සැක හැර දැන ගනිමියි සිතා නැගිට නිවස කරා යන්න ට සැරසුනි)

වඩුවා :

කොතරම් සෙනෙහසින් සිටිය ද අප දෙදෙන
දරුවා සමඟ දුක සැප දෙක බෙදා ගෙන
මට සැක නැතේ මගේ අඹු දරු දෙදෙන ගැන
ගොස් මම බලමි මගෙ නිවසට කල් නොගෙන

(වඩුවා නික්මේ. නිවසේ දොරට තට්ටු කළ ද බිරිය දොර හැරියේ නැත. වඩුවා බිරිඳ අමතා "සොදුර මා හදුනන්නේ නැතිද? රජතුමා ළඟ සේවයට ගිය ඔබේ සැමියා මමයි. දොර අරින්න" යැයි හඬ අවදි කලේය.)


බිරිඳ :

මගේ සැමියා කිසි දිනකේ
එන්නෙ නෑ රෑ දෙගොඩ යාමෙ
ඔබ මගේ සැමියා නොවන්නේ
අරින්නෑ දොර කසිම විටකේ

(සොවින් බරවූ වඩුවා ගෙයි පිළේම නිදා ගත්තේය. මහ රෑ ගෙතුලින් පිරිමි හඬක් ඇසුණි. ඔහු මහා කලබලයකටත් කෝපයකටත් පත් විය. දොර කඩාගෙන ඇතුලට යන්න සිතූ නමුත් රජුගේ ඔවදන නැවත ගෙන කියවා ඉවසා එළි වෙන තුරු පිළේම නිදා හුන්නේය. උදෑසන බිරිඳ දොර හැරගෙන එළිය ට පැමිණ පිළේ සිටි සැමියා දැක, පුදුමයට පත්ව හඬන්නට පටන් ගත්තාය. පුතා ද අවදි වී සිටි අතර ඔහුට තාත්තා අඳුනා ගත නොහැකි වී සිටියේය."පුතේ මේ උඹේ තාත්තා", ඊයේ රෑ ඇහුනේ පුතාගේම කට හඬ බව ඔහුට තේරුණා. වඩුවා සියළු විස්තර බිරියටත් දරුවාටත් කියා සිටියා.)

පොතේ ගුරු:

පසුදින නැචත වඩුවා
රජු වෙත යන්න සිතුවා
දින කිහිපයක් ගෙව්වා
මාළිගය වෙත නැචත ආවා

ඔබා රජු ළඟ දණ
දොහොත් මුදුනට ගෙන
තුන් වරක් වදිමින
කිව්ව පල දුන් අයුරු ඔවදන

පැහැදී රජු මෙවිට
දුන්නා පඩුරු පිට පිට
තවත් ඔවදන් දී තුට ට
යැව්වයි වඩුව නැවත නිවසට

කතා චස්තුව නිමි
නමුත් අදහස නොනිමි
ඔවදන් රුවන් වැනි
හිතට ගනු ඔබ දිලෙයි වැනි මිණි

(සියල්ලෝ වේදිකාවෙන් නික්ම යති)

නිමි.

( මෙහි දී මා සමහර තැන්හී එළිවැට ගැන තැකීමක් නොකළෙමි. )

Sunday, July 6, 2008

අට ලෝ දහම සහ අපි

මිතුරනි/මිතුරියනි,

මේ මිහිතලයේ ජීවත්වන සාමාන්‍යය පුද්ගලයන් වන අප කෙතරම් දුරකට අට ලෝ දහමෙහි කම්පා වෙත්ද? ඕනෑ තරම් අවස්ථා ඇත. එය අපට නොදැනීම අප තුලින් සිදුවන්නකි. මා සියලු ආගම් වලට නිසි ලෙස ගරු කරන, බුදු දහම හුදෙක් ආගමක් ලෙසම නොව, දර්ශනයක් ලෙස විනිවිද දකින්නට කැමති, සාමාන්‍යය මිනිසෙකි. මෙය ලියන මා ජීවිතය දෙස පැතිකඩ කිහිපයක් ඔස්සේ බලා, එහි අරුත් සොයන්නට උත්සාහ දරමින් සිටින්නෙකි. පස් පව් වලින් තොර නොවූවත්, පව් අවම ලෙස කිරීමේ දැඩි උත්සාහයක යෙදෙන්නෙකි.

මුලින්ම අටලෝ දහම සරලව දැනගමු.

ලාභ - අලාභ
යස - අයස
නින්දා - ප්‍රසංසා
සැප - දුක

වචන කෙටි වූවාට අරුත් නමි ඉතා ගැඹුරුය. ඒවායේ දිග පලළ විමසීම මට අයිති කටයුත්තක් නොවන අතර මාගේ දැනුමද ඒ සඳහා ප්‍රමාණවත් නොවන්නකි. මෙහිදී අප අට ලෝ දහමේ කම්පා නොවීම යනු ඉහත කරුණු නිසා මහත් සතුටකට හෝ අන්ත දුකට පත් නොවී මැදිහත් ව විඳ දරා ගැනීමයි. මෙය කොතරම් දුරකට අපට රැකිය හැකිද?

ඔබට අද දින ලොතරැයි දිනුමක් ලැබී නම්, ඔබ කොතරම් උද්දාමයට පත්වේද? ඔබ ආයෝජනය කල මුදලකට නිසි ලාභයක් නොලැබීනම් කොතරම් සිත් තැවුලට පත්වේද? සමාජයේ ගැරහුමට, සමච්චලයට ලක් වූ විට කොතරම් දුක් වේද, තමන්ට උසස් අයගෙන් පැසසුම් ලබුනු විට කොතරම් සතුටු වේද? මේ ආදී ලෙස අට ලෝ දහම අප සැම වටා නිරන්තරයෙන්ම සක්මනේ යෙදේ.

අප කෙසේනම් මේ ලෝ දම් අටෙහි කම්පා නොවී සිටිමුද? ඔබ ඔබ තුළින්ම විමසන්න. ඔබට දුක සහ සැප එකසේ විඳ දරා ගත හැකිද? හොදින්ම විමසුවොත්, මේ සියලු දේ හට ගන්නේ අප සිත් තුලම බව වැටහේවි. අප නිතරම වාගේ බාහිර පරිසරයත්/පුද්ගලයිනුත් සමඟ අපව සසඳන නිසාවෙන්, අප විසින් සකසා ගත්තාවූ මිණුම් දණ්ඩක් දෙස බලා ජීවිතය මැනීමක් සිදු කරයි. මේ මිණුම් දණ්ඩ හැම විටම නිවැරිදි නැත. එම නිසාවෙන්ම තමන් තමන්ටම දී ඇති තක්සේරුවද සැමවිටම නිවැරිදි නොවිය හැකිය.

ඔබ කල දෙයකට කෙනෙකු 'හොඳ' ප්‍රතිචාරයක් දැක්විය හැක. එම වැඩයටම තවකෙකු 'නරක' ප්‍රතිචාරයක් දැක්විය හැක. බොහෝ විට අප නරක ප්‍රතිචාර වලදී දුක් වෙන අතර හොඳ ප්‍රතිවාර නිහතමානීව පිළිගන්නවා. මෙකල හොඳ කී පමනින් උඩගු වන්නන් ඇත්තේ අතලොස්සකි. එය සෑහෙන සතුටකි. ඇත්ත වශයෙන්ම ගත්තොත් මෙහිදී 'හොඳ' 'නරක' ලෙස නොබෙදා, සියලු දේ ප්‍රතිචාර ලෙසම සිතුවොත් කම්පා වීමක් සිදු වීමට දෙයක් නැති වී යයි. ඒ අයුරින්ම, පුවතක් ලැබුණු තැන එය 'සුභ' හෝ 'අසුභ' යැයි තීරණය වන්නේ පුවත අසන්නා එය භාර ගන්නා ආකාරය මත නොවේද? උදාහරණයක් දැක්වූවොත්, වේලුපිල්ලේ මැරුණා කීවොත් එය කොටසකට 'සුභ' ආරංවියක් වන විට තවත් කොටසකට 'නරක' ආරංචියක් වේ. මෙහිදී මේ පුවත් 'සුභ' අසුභ' ලෙස නොබෙදා හුදෙක් පුවත් ලෙස සිතිය හැකි නම් කම්පා වීමට දෙයක් තිබේද? කනෙකු පයින් යන්නට වීම 'දුකක්' ලෙස සිතන විට තවෙකෙක් පයින් යෑම ව්‍යායාමයක් කොටගන්නේය. මෙහිදීද පයින් යෑම ගැන පමණක් සිතූ කල එහි කම්පා වීමට දෙයක් නැත.

අපට මේ අයුරින් සිතන්නට බොහෝ දේ ඇත. අටලෝ දමේ කම්පා වීම හෝ නොවීම අප සිත තුල ඇති කරගන්නා තීරණයකි. ඇත්තෙන්ම සියුම්ව සිතා බැලුවොත්, අප හසුරවා ගත යුත්තේ අවට පරිසරය නොව අප සිත බව වැටහේවි. ඔබද මමද, අනුන්ගේ අඩුපාඩු හදන්නට පළමු තමුන්ගේ සිතේ අඩුපාඩු සාදා ගත යුතුමය. අටලෝ දමේ කම්පා නොවිය හැකි නම් එය සිත් තැවුල් අවම යහ දිවි පැවැතමකට මඟ පාදන බව මට හැඟේ. ඔබටත් ඒ ගැන සිතන්නට ඉඩ තබා මම නවතිමි.

Thursday, June 19, 2008

ආදරය මොන වගේද?


ආදරය මොන වගේද කියල ඇහුවාම හුඟ දෙනෙක් කියන්නෙ "හරි සුන්දර දෙයක්", "හොඳට හිතල මතල කරන්න ඕන දෙයක්" වගේ දේවල්. සමහරු කියනවා "ආදරය කියන්නෙ උතුම් පරිත්‍යාගයක්" කයලත්. මටත් තියෙනවා ආදරය ගැන කියන්න යමක්.

"ආදරය හරියට හඳ වගේ, සෞම්‍යයි, මුලු විශ්වයටම අයිතියි. ලොවේ සෑම ජීවියෙකුටම නොයෙක් ආකාරයෙන් දිස්වෙනවා. පුර සඳක්, අඩ සඳක්, ආදී වශයෙන්. වෙලාවකට කළු වලාවකින් වැහෙනවා, නැවතත් සිනා සී චලාකුලු අතරින් දිස්වෙනවා. අමාවකක් වී නපුරුකමින් සැඟව යනවා. සැඩ හිරුගේ සැර පරුෂ බව සඟවා සිසිල් එලියක් විහිදවනවා... ඔබත්, මාත්, මේ මුලු ලෝකයත් එකිනෙකාට අයිති නැති වුවත්, සඳ ලොවට සදා අයිතියි."

ආදරය හරිම සෞම්‍යයි, මුලු විශ්වයේ සෑම ජීවියෙකුටම අයිතියි. මව් පිය දූ දරු සෙනෙහස, ප්‍රේමවතුන් වතියන්ගේ ආදරය, සතුන් අතර ඇති බැදීම ආදී මෙකී නොකී බොහෝ ආකරයෙන් පැවතිය හැකියි. ආදරය කෙනෙකුට සාගරයක් ලෙස හෝ දිය දෝතක් ලෙස (අඩු වැඩි වශයෙන්) ලැබෙනු ඇත. වරක ආදර සිත් තරවටුකම් පාන වාරත් ඇත (වරක, දරුවෙකුට වරදකට දඬුවම් කළ පියෙකු නැවතත් වරෙක තුරුලට ගෙන දරුවා සනසන්නේය). අපට ආදරය කරන්නන් කෙදිනක හෝ අපෙන් සදහටම සමුගන්නේය. ඔවුන් සමුගත්තද ඔවුන්ගේ ආදරය සදා අප අතර රැදෙනු ඇත. ලෝකයේ රුදුරු උවදුරු වලින් පීඩිත සිතට අස්වැසිල්ලක් ගෙනෙනේ ආදරයයි. අප කෙදිනකවත් කාටවත් අයිති කරගත නොහැකිය, නමුත් ආදරයේ සිසිලස මේ මුලු ලොව පවතින තුරාවටම සැමටම අයිතියි!

ආදරයට අරුත් බොහෝමැයි. මගේ, ඔබේ සිතැගි පරිදි ඒවා ගෙතිය හැක. මනුෂ්‍ය වර්ගයා පවා පරිඝණක ගත කළ හැකි යුගයක ජීවත් වන අපට ආදරයේ සිසිලස කොතරම් ප්‍රමාණයකට දැනෙනවාදැයි සොයා බලන්නට ඔබ වෙහෙසුනාද? අප තුලින්න දිනෙන් දින ගිලිහී යන ඒ අපරිමිත සෙනෙහස් ගඟුල සිදෙන්නට නොදී රැක ගන්නට, ආදරයට අරුතක් එක්කරන්නට, ඔබටත් මටත් කළ හැකි යමක් වෙතොත්, එය නොවලහා ඉටු කරන්නට අදිටන් කර ගමු.

ඔබටත් හැකියි ආදරයට අරුතක් එක්කරන්න. ඔබේ අදහස "Comments" ඔස්සේ යොමු කරන්න.

Sunday, June 15, 2008

ප්‍රවිශ්ඨය...

සදාකාලික නොවූ ලෝකේ
සදා කාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්...
(විශාරද සුනිල් එදිරිසිංහයන්)

මා නමින් දසුන්ප්‍රිය අනුරාධ. මහා ගත් කතුවරයෙකු, ප්‍රවීන ලේකඛයෙකු නොවූ නමුදු, සිංහළයේ වදන් යොදා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙය කියවමින් සිටින්නාවූ ඔබට මෙන් මටද පිහිටා ඇත. සිංහළෙන් බ්ලොග් සටහන් තැබීමේ මාගේ ප්‍රාථමික පරමාර්ථය වූයේ සිංහළ යුනිකෝඩ් භාවිතය ප්‍රවර්ධනය හා සිංහළ බ්‍ලොග් සංකල්පයට හවුල් වීම වුවත්, මා සිත තුල කලක සිට පැවති සියුම් අචශ්‍යතාවක්ද සපුරා ගැනීමට මෙමගින් මග එලි වුනි. එනම්, පාසැල් කාලයේ මා හට තිබී අදට ගිලිහී ගොස් ඇති ලිවීමේ හැකියාව නැවත මලවුන්ගෙන් නැගිටවා ගැනීමයි. ඒ කරුණු කාරනා සියල්ලටම සාධාරණයක් ඉටුවන්න යැයි සිතමින් මාගේ සිංහළ බ්‍ලොග් සටහන් තැබීමේ ඉඳුල් කට ගෑම අද සිදු වුන වගයි. මා වෘත්තියෙන් සෞන්දර්යය හා සම්බන්ධ නොවූවත් හදවතින් සෞන්දර්යය ඇසුරේ ජීවත් වන්නෙකි. එම නිසා, "ජීවිතය" ලෙසින් අන්තර්ජාලගත කළ මෙම බ්ලොග් සටහන් ගොන්න ජීවිතය හා ගැටෙන දුක, සතුට, සෞන්දර්යය, සහ අනෙකුත් සිතුවිලි ධාරා වලට විවෘත්ත කොට කුලුඳුල් සටහනට මෙසේ තිත තබමි.

මතුවට...