Sunday, May 17, 2009

අලුත් ශ්‍රී ලංකාචකට ආරාධනා

අප බොහෝ දෙනෙක් මේ වන විට දන්නා පිළිගන්නා කරුණක් වෙයි, එනම් වේලුපිල්ලේ ඇතුලු කොටි රැසක් කොටු වී සිටි බවත්, දැනටමත් උන් සියදිවි හානි කරගෙන සිටින බවත් (මේවා නිළ නොලත් ආරංවි බව සළකන්න). මෙය අප වසර ගණනක් සිට බලාපොරොත්තුව සිටි දෙයකි. මෙරට ත්‍රස්තවාදය තුරන් වී සාමය උදා වන තුරු අප සියල්ලන්ම බලා සිටියේ නොඉවසිල්ලෙනි. එසේනම්, අද දින ඇතුලත නිළ වශයෙන් සාමයේ පණිවුඩය දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිමි.

හැකි සෑම නිවසකම ගොඩනැගිල්ලකම ජාතික කොඩිය ඔසවා සූදානම් වී සිටින්න.!

ජනපති, තුන්විධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක අංශ ඇතුලු සියලු දෙනාටම මාගේ හද පරි ප්‍රණාමය පුද කර සිටිමි. අපි වෙනුවෙන් ඔබ සියලු දෙනා ජීවිත, ලේ පිදූ හැටි මියැදෙන තුරා අප හදවත් තුළ රැඳී තියේවි.

විරං ජයතු ශ්‍රී ලංකා.

Tuesday, February 10, 2009

අති සුන්දර නගරයක් කරා...

"රමණීය නගරයක් ගොඩනගමු.", "සුන්දර නගරයක් බිහිකරමු", "නගරය පිරිසිදුව තබා ගමු" වැනි වැකි ලියැවුනු බෝඩ් ලෑලි මම අනන්තවත් දැක ඇත්තෙමි. මේවා දිස්කරවූ නගර හරහා වසර කිහිපයක් තිස්සේ ගමන් කර ඇත්තෙමි. නමුත් එයින් බොහොමයක් නගර තවමත් "සුන්දර නගර" වූ බවක් නොපෙනේ. මා ලියන්න ට හිතුවේ "කොළඹ කුණු" වැනි පරසිදු මැයක් නොවේ. නිතර කතා බහ වන මැයක් නොවුණත් කොළඹ කුණු මෙන් මෙන්ම මෙය ද නගර වනසන පිළිලයකි. මෙය "ඡන්ද කුණු" නම් වේ.

මේ දින වල මහ මග යන විට (මැතිවරණ පෙදෙස් වල) පාර හතර පැත්ත බැලූ විට පෙනෙන්නේ මොනවාද? එක එක අපේක්‍ෂකයින් ගේ සේයා රූ රැගත් පෝස්ටර් ය (poster යන්නෙහි හෙළ වදන?, "දැන්වීම" නොගැලපෙන බවයි මගේ හැගීම, "දැන්වීම = notice"). ඒව කොතරම් අලවා ඇත් ද කියතොත් දැන් ඇලවීම ට ඉතිරි ව ඇත්තේ ඡන්ද දායකයන් ගේ ඇඟවල් පමණි. සිරුරේ ඇලවිය හැකි පෝස්ටරයක් බිහි වූ දාට ඡන්ද දාට පාර තොටේ යාම නම් අපට ලේසි නොවේවි. මොන විනාශකාරී වැඩක් ද මේ උදවිය මේ කරන්නෙ...

මෙය ඡන්ද ව්‍යාපාරයක් ලෙසනේ හඳුන්වන්නේ. එවිට පෝස්ටර්, බැනර් (හෙළ වදන?),අඳින්නන් හට, මුද්‍රණය කරන්නන් ට, අලවන අයට, මෙකී නොකී මෙම කටයුත්ත ට සම්මාදම් වන හැම දෙනාටම ආර්ථික වාසි සැලසෙන නිසා මෙය රටේ ව්‍යාපාර වලට ද රුකුල් දෙන්නක් ලෙස සමහරු අරුත් දක්වති. මොන වාසි කවුරු කෙසේ ලැබුවද නගරයේ පිරිසිඳු බවට, අලංකාරයට මෙමගින් වන පාඩුව නම් මිළ කල නොහැකිය. ඊයේ මහනුවර නගරය හරහා කොළඹ කරා එන ගමනේ දී මා දුටු විනාශකාරී ඡන්ද ක්‍රියාකාරකම් මෙම සටහන ලිවීම ට මා පොළඹවන ලදී. මහනුවර ලෝක උරුම නගරයයි. මෙය අපේ රටේ අන්තිම රාජධානියයි, දළදා මාලිගාව, වැව රවුම අප කාගේත් ගෞරවය, ආදරය ට ලක්වූ තැන්ය. නමුත්, මට දකින්න ට ලැබුනේ ඒ ප්‍රෞඩත්වය සිත් උපදින දසුනක ට වඩා සිත කීරි ගැහෙන දසුන්ය. වැව රවුමේ ගල් බැමි මත නොයෙකුත් මෝඩයන් ගේ නම් සහ මනාප අංක යොදා කතිර ඇඳ තිබුණි. වැව රවුම වටා සැදි මහා රූස්ස ගස් කඳන් මත ද එලෙසම තීන්තයෙන් පොල් අකුරින් නොයෙක් නම්, අංක ලියා තිබුණි, නගර මැද විදුලි කණු, අත් වැටවල්, ගස්, ගල්, තාප්ප, වාහන, මෙකි නොකී සෑම තැනකම පෝස්ටරවලින් වනසා තිබුණි. එක මෝඩයෙකුගේ රූපය රෑ එලි වන විට ඉරා, මකා දමා තව මෝඩයෙකුගේ රුව අලවයි. මහපාරේ කහ ඉරි චලට වඩා ඡන්ද අපේක්‍ෂකයන්ගේ සලකුණු, අංක ලියා ඇත. මෙම කොළ, පාප්ප, බැනර් පාර පුරා කෑලි වලට ඉරා දමා තිබිණ. මැතිවරණය මැටිවරණය/මැට්ටන්වරණය ලෙස වෙනස් විය යුතු යැයි මට හැඟේ...

මේ අයුරින් සුන්දර නගර බිහි කල හැකිද? අප නිවෙස් වලින් පාරට දමන කුණු මල්ලේ සිට මේ සියලු අණුවන වැඩ නිසා සුන්දර නගර බහි වීම සිහිනයක් පමණක් වනු ඇත. නගර සභාව ට ම බැන වැදී වැඩක් නැත. නීතිය ක්‍රියා කරවිය යුතු දේශපාලකයින් මෙලෙස හැසිරෙන විට ඉන් පහළ අයට කෙසේ අචචාද දෙත් ද? දේශපාලකයින් ගේ සැබෑ ස්වරූපය නම් මෙම වැඩ වලින් මොනවාට පැහැදිලි වේ. මොන අලංකාර ආදර්ශ පාඨ අත දරා සිටියත් මොවුන් සියල්ලන්ගේම පොදු පාඨය වනුයේ "කෙසේ හෝ තමන් බලය ට පැමිණිය යුතුය" යන්නයි. ඉතින් නගරය බල්ල ට ගියාම උන්ට මොකෝ..

දැන් මේවා ට විසඳුම් ද යෝජනා කල යුතුයි නොවැ... මට හැඟෙන පරිදි ජනතා ඡන්දය ලබා ගැනීම ට මෙතරම් ප්‍රචාරණයක් දෙන්න ට අවැසි නොවේ. යම් අපේක්‍ෂකයෙක් ගම ට රට ට යහ සේවයක් කරයිද ඔහු ට/ ඇය ට ජනතා වරම ලැබීම වැලැක්විය නොහැක. නමුත් අද එවැනි සේවයක් නොවන නිසා ජනතාව අතරට යාම ට මෙම පිරිස් හට දැඩි වෙහෙසක් දැරීම ට සිදුවේ. ඉතින් මා මෙවන් යෝජනාවක් ඉදිරිපත් කරමි.

යෝජනාව:
චිත්‍රපටි දැන්වීම් දැමීම සඳහා වෙන්වූ දැවැන්ත පුවරු අප දැක තිබේ. සමහර ඒවා යම් යම් විත්‍රපටි ශාලා විසින් මිළදී ගෙන ඇත. මේ අයුරින් දේශපාලන පක්‍ෂ වල ට ද වෙන් වූ පුවරුව බැගින් නගරයේ තෝරා ගත් තැන් වල ඉදි කළ හැක. මෙම පුවරු මත අලවන ඉලව්වක් අලවා ගනීම ට ඒ ඒ උදවියට හැකියාව ලැබේ. අදාල පක්‍ෂය ට වෙන්වූ පුවුරුවේ එක් අපේක්‍ෂකයෙකු එක් පෝස්ටරය බැගින් ඇලවීම කල යුතුය. මෙවි ට ඉතා විධිමත් ප්‍රවාරණයක් සිදුවේ යයි මම සිතමි. ජනතාව ට ද හිසරදයකින් තොරව තමන් ට කැමති කෙනා ට අදාල විස්තරය දැන ගැනීම ට හැකි වේවි.

වාසි:
1. නගරය පුරා ඉතා මෝඩ ලෙස පෝස්ටර අලවමින්, පාරවල්, තාප්ප විනාශ කරමින් සිදුකරන නගර දූෂණය නවතී. අලංකාර සුන්දර නගරයක් බිහි කර ගැනීම ට මං විවර වේ.
2. ජනයා ගේ පෞද්ගලික දේපල වල ට හානි සිදු නොවේ (පුද්ගලික තාප්ප, චාහන).
3. පක්‍ෂ වලට වෙන්වූ පුවරු ඇති නිසා ජනතාව ට ඉතා පහසුවෙන් තමන් කැමති ඡන්ද අපේක්‍ෂකයා ගේ පක්‍ෂය, පාට, සලකුණ, අංකය දැක ගත හැකි වේ. මෙමගින් ජනතාව ට සිදුවන වැරදීම් අවම කර ගත හැක.
4. පොස්ටර ඉරා ගැනීම්, රාත්‍රී කාලයේ පක්‍ෂ සහයකයින් අතර සිදුවන ගැටුම් වල ට තිත තැබේ.
5. මත් දියර, කුඩු, ගංජා උරමින් රැය පුරා තරුණ ජීවිත දූෂිත වීම අවම වේ.
6. පෝස්ටර සහ අනිකුත් ප්‍රවාරණ කටයුතු වල ට දරන වියදමින් ගම ට සේවයක් කිරීම ට ඡන්ද අපේක්‍ෂකයා ට වාසනාච උදා වේ.
7. මැතිවරණ නොමැති කාල වලදී තමන් ට අදාල පුවරුව වෙනත් ආයතන වල ට කුලිය ට දීමෙන් පක්‍ෂයේ අරමුදල තර කර ගත හැකි ය.
8. තව සැඟවුණු වාසි බොහෝයි....

අවාසි:

1. අනුන්ගේ පක්ෂ පුවරු වලට තාර, ගොම ගසා විනාශ කරීම ට ඉඩ තිබීම. (මොළය කළඳක් නොමැති අපේක්‍ෂකයින් සෑහෙන ප්‍රමාණයක් අදට ත් සිටින නිසා.)
2. මුද්‍රණාල හිමිකරුවන්, අරක්කු (නීතිමය හා හොර), මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හට සෑහෙන පමණකට වෙළදාම් අහිමි වීම.

අනෙක් අවාසි නොසලකා හැරිය හැකි තරම් සුලු ඒවා ය.

මෙය කියවන මගේ හිතවතුන් හටත් තවත් කරුණු වලින් මෙම සටහන පොෂණය කළ හැක. ඉතින් නොමසුරුව ඊට දායක වන්න, දිනක මෙවන් අදහසක් මෙරට ක්‍රියාත්මක වූව හොත් එම අදහසේ කොටස් කරුවන් වීමේ භාග්‍යය ඔබ ට ද මට ද හිමි වනු ඇත.

ඊට පෙර, අඩු තරමේ මහනුවර වැව රවුම අවට වත් පිරිසිදු කර නැවත එහි සුන්දරත්වය අපට දැක ගැනීම ට සලස්වන්නේ නම් මැනවි. ජනපති මහින්ද මහතා නුවර පිහිටි එතුමා ගේ රජ ගෙදර ට යන විට වත්, මෙම විනාශය දැක ඊට පිළියම් යොදන්නේ නම් එය ලෝකු උරුම නගරයේ සුන්දරත්වය යලි අවදි කරීම ට රුකුලක් වේවි. අනිත් කරුණ නම්, මෙවන් ස්ථාන වල පෝස්ටර ඇලවීම, කුරුටු බලි ගෑම වහාම තහනම් කළ යුතුය. මහින්ද වින්තන වැඩ පිළිවලේ නගර සංවර්ධය ට මෙය ද චගන්තියක් ලෙස ඇතුලත් කරගන්නේනම් මැනවි. "මැතිවරණ සමයේදී පෝස්ටර් අලවා, බැනර් එල්ලා, පාරවල්, තාප්ප, ගහ කොළ තීන්ත ගා නාස්ති කර දැමීම සෑම පාක්‍ෂිකයෙකුටම තහනම්". නැතිනම් අපේ අනාගත පරපුරට සුන්දර නගර වෙනුවට දකින්න වෙන්නේ පෝස්ටර නගර එකතුවකි.

විනාශකාරී පෝස්ටර්/බැනර් නොගහන, පාරවල් විකෘති වන ලෙස මනාප ඉල්ලා කුරුටු නොගාන, ගම නගරය සුන්දරව තබා ගැනීම ට උර දෙන සියලු ඡන්ද අපේක්‍ෂකයින් ට ජය වේවා!



Monday, February 2, 2009

මේ කොහි යන්නේ? කුමක් කරන්නේ?

කෙමෙන් කෙමෙන් අප ලඟා වන්නේ දියුණුව කරාය. පුද්ගල, පවුල්, ගම් වල දියුණුව රටේ දියුණුවයි, එක් රටක් අනෙක පරයා යමින් දියුණුවේ දිනුම් කනුව සොයා දිව යයි. සිප්ලකු (තාක්‍ෂණික) දැණුම අතින් ඉතා දියණු තත්ත්වයක අද ලොව පවතී. අප මේ යන්නේ කොයිබට ද? දියුණුව යනු කවදා හෝ ලඟා වී නැවතිය හැකි දෙයක් ද?. එසේ අවසානයක් ඇති දෙයක් නම්, ඒ අවසානය කොතැන ද? කෙදින ද? මේ දියුණුව කා සඳහාද? මෙවන් පැන ගණනාවක් සඳහා මම සාධාරණ පිළිතුරු සෙවූයෙමි. මෙසේ ටික කලක් සිතමින් සිටින විට හදිසියේම මා හට දැණුනු දෙයක් ගැන ටිකක් වැඩිපුර අචධානයක් යෙදුවෙමි.

මේ දියුණු ගමනේ දී අනන්තවත් අප සොබා දහම ට අනුගත නොවන ක්‍රියාවන් සිදු කරයි. ගස් කැපීම්, ගංගා වැලි ගොඩ දැමීම්, වගුරු බිම් ගොඩ කිරීම්, මෙකී නොකී අපමන දෑ සිදු කරයි. මේ සියල්ල දියුණුවේ ගමනට මඟ පාදා ගන්න ට සිදු කල යුතු වැලැක් විය නොහැකි "සංවර්ධන ක්‍රියා දාමයන්" ය. මට තිබෙන පැනය මෙයයි, මෙසේ දිනෙන් දින මිනිසා විසින් සොබා දහම ට එරෙහිව සිදු කෙරෙන "සංවර්ධ ක්‍රියා දාමයන්", සොබා දහම කොපමන කලක් ඉවසාවි ද යන්නයි. කෙමෙන් මිනිසා සොබා දහම ට තර්ජනයක් වන නිසා තම ආත්මාරක්‍ෂාව පතා සොබා දහම පියවරක් ගත් විට මිනිසාට ඉන් කිනම් ඉරණමක් අත් වේද? මිනිසා ඕනෑම තර්ජනයකට සූදානම් බව නිතර අසන වැකියකි. එනිසා බිය වන්න ට කරුණක් නැතැයි සිතා සිටින්නන් ඉවක් බවක් නැතිව කරනා විනාශයන් නිසා දිනක සොබා දහම් මාතාව විසින් මිනිස් දරුවන් ට අවසානය උදා කරන බව මට හැඟෙන කරුණකි. ඔබ ට එසේ හැඟේ දැයි මම නොදනිමි.

සිප්ලකුවෙන්, යුධමය වශයෙන් අප සවි මත් බව සැබවි. නමුත් සොබ දහම් හමුදාව ට මුහුණ දෙන්න ට මෙම සිප්ලකුව, අවි ආයුධ වල ට හැකි වේවිද? උදාහරණයක් ලෙස, සුනාමි රළ පහර දෙන විට, එය නවතාලීම ට, ඊට ප්‍රති පහර දීමට යොදා ගත අවිය කුමක් ද? මට මතක හැටිය ට දෙපා වල ට වැඳ දිවගොස් පණ බේරා ගැනීම හැරුණු විට අප ට කළ හැකි වෙන දෙයක් තිබුනේ නැත. සුළිසුලං සුලි කරකවමින් හසු වන හැම දෙයක්ම වනසමින් ගම රට හරහා හමා යන විට එය වලකාලීම ට සමත් වූ සිප්ලකුව කුමක් ද? දිවි සිදෙන විට "බුදු අම්මෝ", "දෙවියනේ", "අනේ සාමී", "යා අල්ලා","ඕ මයි ගෝඩ්", "වට් ද ෆක්" මේ කිසිවක් කියා ගත නොහී අසරණව මැයැදී යන්න ට වෙයි. මෙවන් ස්වාභාවික පහර දීම් "ස්වාභවික විපත්" ලෙස (අනිව්ඡානුග/ඉබේ සිදු වන) වදනක් යොදා සැර බාල කොට ඇත. වදනේ සැර බාල වූවද පහර කෑමට ලක්වූවන් ට අත් වන ඉරණම නම් සුලු පටු නොවේ.

සොබා දහම සහ මිනිසා අතර ගැටුමේ එකිනෙකා සතු සිප්ලකු හා යුධමය බලයන් ගෙන් කිහිපයක් සසඳා බලන්න. මුලු හමුදාවක් සතු යුධ ටැංකි, බලෑනි සියයක් සුනාමි රළ පහර හා සටන ට යෙදූ විට කවුරු ජය ගනීවි ද? ගුවන් යානා බලෑනියක් රොකට්, මිසයිල සමඟ ටොනේටෝ සුලිසුළඟක් සමඟ සටන ට ගිය හොත් කවුරු ජය ගනීවි ද?. ග්ලැසියර් දිය වී මුහුදු මට්ටම ඉහළ ගිය විට අහිමි වන ගොඩබිම් නැවත ලබා ගැනීම ට හැක්කේ මොන රජයට ද, මොන සංවිධානය ට ද?... කිසිවෙක් ට කිසිවක් කරගත නොහැකිය. අප සියල්ලන්ම ජීවත් වන්නේ සොබා දහම් නීතිය යටතේ ය. මේ ලොවේ මොන පාලකයා ට වත්, රටක ට වත් සොබා දහම් නීතිය ට පිටු පෑ නොහැක. වැරදි කලොත් පගාව දී හෝ දේසපාලකයෙකු මගින් තර්ජනය කොට බේරී සිටින්න ට හෝ ලැබෙන්නේ නැත. දඩුවම ඒකාන්තයෙන් ම ලැබේ.

සොබා දහම ට එරෙහිව මිනිසා ගේ ක්‍රියාවන් ගැන ලියන්න ට මට මෙම බ්ලොග් සටහන නම් කිසි සේත් නොසෑහේ. නමුත්, ඉතා අල්ප වශයෙන් හෝ පෙනවා දෙමින් මා කියන්න ට උත්සාහ කරන්නේ අපි සියල්ලන්ම සොබා දහම ට එරෙහිව ඉතා අණුවන ගමනක යෙදෙමින් සිටින්නෙමු. මේ එකිනෙකා මරාගෙන සොයා යන සැනසුම කිසිවෙකුට ත් විදින්නට නොලැබෙන බව අපි නොදන්නෙමු. පිළිගන්නට ද සූදානමක් නැත. මේ සටහන කියවීමෙන් පසු මේ හා බැදුණ අනෙක් කරුණු ගැනත් සිතා බලන්න. මිනිස් වර්ගයා සොබා දහමට තර්ජනයකව ඇති සත්වයින් ලැයිස්තුවේ අංක 1 තැන හිමි කර ගෙන ඇත. හැම ලැයිස්තුවකම උඩින් ම ඉන්න කැමති මනු සතා ට මේ ලැයිස්තුවේ උඩින් ම සිටීම ගැන සතුටු විය හැකි ද?

හැලියේ වතුර රත් වන තුරු දිය කෙලින කකුළුවන් මෙන් අප උත්සව පවත්වමින්, සංවත්සර සමරමින් කල් ගෙවන්නෙමු. සොබා දහම මිනිස් දරුවන්ගේ මිනී වල කපා අවසන්ය. දැන් අප සියල්ලන් නට නටා ඇදී යන්නේ ඒ මිනී වල වෙතට ය.

"ඔහොම යං".







Wednesday, December 10, 2008

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...


මේ ... නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි..
මේ... නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි...

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

මේ.... නගරය

ඔබ අත ගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ... නගරය

මෙය මා ඉතා ආදරය කල, විටෙක ගත් කල මා ජීවිතය ට ද සබැදි ගීයකි. වරෙක ශ්‍රී ජයවර්ධන පුර සරසවි ගී පැදුරක දී විශාරද මනෝජ් පීරිස් ගේ සංගීතයත් මුසුව (2002 වසරේ දී) මම මෙම ගීය මහත් ආදරයෙන් ගැයුවෙමි. මෙම ගීයේ අයිතිකරු, ඒ ළයාන්විත හඩේ හිමිකරු මෙලෙස අපෙන් සමු ගනීවි යැයි එදා මම කිසි සේත්ම නොසිතුවෙමි.

සිංහල ගීත ලොවේ පෑයූ තවත් දුලබ, අගනා තරුවක් පසු ගිය ඉරු දින (07/12/2008) අප ගී අහසින් නිවී ගියේ ඒ හඩේ මිහිරියාව පමණක් අප ට ඉතිරි කරමිනි. මර්වින් පෙරේරා සංගීත වේදියාණෙනි, ඔබ ට මා නිවන් සුව පතන අතර, ඔබේ ගී හඩ අසන්නට ලැබීම මගේ ජීවිත කාලයේ මට පල දුන් පිණක් බව සිහි කරනු කැමැත්තෙමි.

මා සනසා.. මා නලවා..
සුරංගනාවක් සෙමෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී...

සේයා රුව ලබා ගත්තේ lankavideos.magnify.net වෙතිනි.

Wednesday, October 1, 2008

මහනුවර වතුරේ වස.

ඊයේ (30-09-2008) පාන්දර 1.30 ට පමණ මහනුවර සමහර පෙදෙස් වල වතුර ට වස චර්ගයක් මුහු කොට ඇතැයි කියමින් ශබ්ධ වාහීනී යන්ත්‍ර දමාගෙන වාහන වලින් ප්‍රචාරණයක් කර ඇත. සමහර පෙදෙස් වල කිහිප දෙනෙක් මිය ගොස් ඇති බව ට ද කතා පැතිරී ඇත. උදෑසන රූපවාහිනී පුවත් වලින් මෙය අසත්‍ය ප්‍රචාරයක් බව කියා සිටියේය.

මට මේ ගැන කිහිප විධියක අදහස් ඇත.

1. සමහර විට ඇත්ත ට ම යමක් සිදුවී ඇති මුත් රටේ අනිත් ජනයා කලබල වේ යැයි සිතා යට ගැසීම.
2. කවුරුන් හෝ කඩාකප්පල් කාරී පිරිසක් ගේ බොරු ප්‍රචාරයක්.
3. ත්‍රස්තවාදීන් ම බොරු ප්‍රචාරයක් යවා, මිනිසුන් කලබල කර, එය බොරු බව දැන ගන්න ට සලස්වා, කවදා හෝ ඇත්ත ට ම මෙවන් දෙයක් කර ජනයා එය පෙර සේම බොරුවක් යැයි කියා නොසලකා හැරීමෙන් විනාශයක් කරා යොමු වීම ට සැලැස් වීම.

මෙහි දී මාගේ වැඩි අවධානය යොමු වන්නේ තෙවැනි කරුණටයි. කොටියා ට අත් වී ඇති පරාජය මත දැන් ඉතිරිව ඇත්තේ "තොපිත් මරාගෙන අපත් මැරෙනවා" යන සංකල්පයයි. ඒ නිසා අප රටේ කොහේ සිටියත් හොඳට සිත ට ගත යුතු කරුණ වන්නේ "අප සිටින්නේ ද ක්‍රියාන්විත පෙදෙසක යි" යන්නයි. මන් ද යත් මේ මුලු ලංකාවම මේ අවස්තාවේ දී රුදුරු ත්‍රස්තවාදීන් ගේ ඉලක්කයක් වී ඇති නිසාය. මෙය පිළිගැනීම එතරම් අපහසු නොවේ, "යුද්ධය තියෙන්නේ වන්නියේ නම්, ඇයි කොළඹ, නුවර සහ අනිකුත් පෙදෙස් වල මෙතරම් බෝම්බ පිපිරෙන්නේ?" මට හිතෙන්නේ මේ මුලු රටේම යුද්ධය ඇති බවයි. එය එක එක ප්‍රමාණවලින් ඇති එක විතරයි වෙනස. ත්‍රස්තයින්ගේ තර්ජන ය අප හැමෝටමයි!! ඉතින් වතුර ට වස දැමීම වැනි දෙයක් පමණක් නොව, ඊට වඩා දෙයක් වුනත් කරන්න බැරිකමක් නෑ. ප්‍රභාකරන් ජීව අවි යොදා ගත්තේ මුල සිටමය. මිනිස් බෝම්බ යනු ජීව අවියකි!. රසායණික අවි ද යොදා ගැනීම ට නොහැකියාවක් නොමැති බව අප සිතිය යුතු කරුණකි.

මේ නිසා අප මේ යුද්ධය නිම වන තුරුත්, නිම වී කලක් ගත වන තුරුත් ඉතාමත් ම සැලකිල්ලෙන් කල් ගත කළ යුතුවේ. අප හැමෝගේම ජීවිත අනතුරේ ය! බොරු ප්‍රවාර වුවත් සොයා බලා බොරු යැයි සම්මත කොටගෙන මිස අහක දැමිය නොයුතුය.

අපි නිති විමසිල්ලෙන් සිටිමු. බෝම්බ ගැන පමණක්ම නොව, විය හැකි ඕනෑම දෙයක ට සූදානම් ව සිටිමු.

Saturday, September 27, 2008

පළවෙනියා විය යුතුම ද?

"පුතා/දුව මේ පාර පන්තියේ කීවෙනියාද?" පාසැල් යන ඕනෑම දරුවෙකු ගෙන් නිතර ඇසෙන පැනයකි මෙය. පළවෙනි, දෙවෙනි, තෙවැනි තැන් ගත්තවුන් නොපැකිලිව පිළිවඳන් දෙන මුත් පහත් ශ්‍රේණියක් ගත් දරුවෙකු ට මෙය එතරම් සතුට දනවන පැනයක් නම් නොවේ. මෙයිනුත්, පළවෙනි තැන ගත් දරුවෙකු ට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළය. නමුත් සමහර තරඟ විභාග වලින් පළවෙනියා වීම එතරම් ම සතුට දනවන්න දෙයක් නොවේ. මෙය මගේ අත්ඇකීමකි.

චසර 1992. එකල මම පාසැලේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අප දිස්තිරික්කයේ පාසැල් කිහිපයක් තෝරාගෙන තරඟ විභාගයක් පැවැත්විණ. මෙය මාර්ග නීති පිළිබඳ ව දැණුම උරගා බැලීමේ විභාගයක් විය. පැයක ප්‍රශ්ණ පත්‍රයක ට පිළිතුරු සපයා සති දෙක තුනක ට පසු ප්‍රතිඵල නිකුත් විණ.

මගේ මිතුරෙකු ට පළවෙනි තැන හිමි වී තිබිණ. මට දෙවන හෝ තෙවැනි තැන හිමි වී තිබිණ. (හරිය ට ම මතක නැත). මගේ මිතුරා සතුටින් ඉපිලී ගියේය. අපගේ මීළඟ කුතුහළය වූයේ අප ට හිමි වන්න ට යන තෑගී පිළිබඳවය. නොබෝ වේලාවකින් අප ට තෑගි ලබා ගැනීම ට කාර්යාලය ට ඇරයුම් ලැබිණ.

තෙවනි සහ දෙවැනි තැන් හිමි අය ට මුදල් තෑගි දෙකක් සහ සැනසිලි තෑගි ලැබිණි. පළවෙනි තැන හිමි කෙනා ට එක් වසරක ට වලංගු වන රු 5000ක් වටිනා හදිසි අනතුරු ආරක්‍ෂණයක් පිරිනැමිණ. සියල්ලෝ සතුටින් විසිර ගියෝය.

අප නම් අප ට ලැබුණු තෑගි බුක්ති වින්ද මුත් පළවෙනියා ට නම් තමන් ගේ තෑග්ග දැකගන්න ට වත් නොහැකි විය. වසරක් ගෙවී හදිසි අනතුරු ආරක්‍ෂණය කල් ඉකුත් වූව ද ඔහු ට ඉන් ප්‍රයෝජන ගැනීම ට හදිසි අනතුරක් සිදු කර ගැනීම ට නොහැකි විය. ඉතින් අප ඔහු ට ඒ දින වල ලොරි, බස් පෙන්වා "ඔන්න තෑග්ග ගන්න නියම වෙලාව, හැප්පියන්!!!" යනුවෙන් ඔච්චම් කළ වාර අනන්තයි.

මා කියන්න උත්සාහ ගන්නේ මෙයයි. සෑම විට ම කරන විභාගයක හෝ ක්‍රියාවක වෙනියා හෝ ලැබෙන වාසි බලාපොරොත්තුවෙන් නොව, තමන්ගේ දැණුම, ශක්තිය උරගා බැලීමේ අවස්තාවක් යැයි සලකා උපරිම හොඳින් මුහුණ දිය යුතු ය යන්නයි. මන් ද යත් ජීවිතයේ සෑම විටම ලැබෙන ජයග්‍රහණ වලින් අප බලාපොරොත්තු වන වාසි අප ට නොලැබිය හැකි නිසා.

අප ඉගෙන ගත යුත්තේ විභාග සමත් වීම ට නොව ජීවිතය සමත් වීම ට ය. විභාග යනු අප දැණුම ගැන අප ට මැන ගත හැකි මිණුම් දණ්ඩක් පමණි. ඔබ ජීවිතය සමත් වීම ට සිතුවහොත් විභාග ඉබේම සමත් වනු ඇත. කාල වේලා ඇති විටෙක මේ ගැන මදක් සිතා බලන්න.

Thursday, September 4, 2008

අනගි ඔවදන

ගිය සතියේ මගේ නැගණියක ට (මගේ බිරිඳගේ) සිංහළ පන්තියේ පැවරූ වැඩයක් විය. එනම් ජනකතාචක් ගීත මය නාට්‍ය පිටපතක් ලෙස ලියාගෙන එන්න ට ය. ඇය ඉංගිරිසියෙන් ඉගෙන ගන්නා ළමයකු නිසා මෙය කරවා ගන්න ට මගෙන් උදව්වක් ඉල්ලුවා ය. මම, කතාව කියවා බලා මා දන්නා හැටියට පද පෙළක් ලියා දුන්නෙමි. පසුව එය මෙසේ තුරුදැල ට ද එක් කර අනෙකුන් හා බෙදා ගන්න ට ද සිතීමි.

මෙය පෙර රජ දවස ක වඩුවෙකු විසින් රජු ට කර දුන් කැටයම් වල ට ගෙවීමක් ලෙස අවවාදයක් ඉල්ලා එලද ඔවදනේ පිහිටෙන් තමන් හට වන්න ට තිබූ මහා විපතක් වලක්වා ගත් හැටි කියැවෙන අපූරු ජන කතාවකි. මෙහි ගැබ්ව ඇති හරය සහ පණිවිඩය වන්නේ "මිළ මුදල් සම්පත් කෙදින හෝ අපෙන් නැතිව යන බවත්, ජීවිතය ට වටිනා ඔවදන් අප දිවිය ට මිළ කළ නොහැකි සේවයක් ඉටු කරන බවත් ය."

කියවා බලා අදහස් ඇතොත් ලියා දක්වන්න ඇරයුම් කරමි.

පොතේ ගුරු:

බොහෝ ඉස්සර කාලෙක
ලංකාව නම් රටක
හද්ද පිටිසර ගමක
දක්‍ෂ වඩුවෙක් හිටිය කාලෙක

ලී යෙන් කළ දස්කම්
කැටයම් නොයෙක් විස්කම්
ලෙසින් මහ හාස්කම්
කරයි වඩුවා අනගි වඩු කම්

මුහුණ පුර සඳ මෙනි
නෙත් මැණික් කැට මෙනි
සුරඟන ට නොදෙවෙනි
'සඳවතී' නම් ඇගේ නම විණි

දිනක වුනි හරි වැඩක්
නොසිතූ ලෙසින් කිසිවෙක්
ආවා රජ අණක්
හිත ට දැණුනා මහ චකිතයක්


වඩුවා:

(වඩුවා සොවින් තැවෙමින් සිතයි)

එන්න ට කිව්වේ රජු මට කුමකට
දන්නේ නැහැ මම හිත මගෙ සලිතයි
සඳවති ගැන රජු සිත් ඇඳිලා වෙද?
මට මගෙ සඳවති යත් නැති වේවි ද?

යන්න ට වෙයි දින ගණනක් දුර දුර
ආපසු එන්න ට වෙන දින බොහො දුර
බිරිඳත් දරුවත් දමලා යන දුර
දුරලන්න ට හැකි වේවි ද දුක් දුර

(ශෝකයෙන් බිරිඳ සහ දරුවා දෙස බලා)
අකීකරු වෙන්න ට රජු ට
බැරිය මට කිසි ම විට
කිරිය යුතු වැඩය මට
නොදනිමී මම දැනට

(බිරිඳ දෙස හැරෙමින්)
මට හැඟෙන විලාසෙට
රජු ට සිත් පහළ වී ඇත නුඹට
අහෝ එය එසේ වේවි ද?
මට ඔබව අහිමි වේවි ද?

(දරුවාගේ හිස පිරිමදිමින්, දෙදනා ට ම සමු දෙමින්)
මම ගිහින් එන තුරා
ඉඳිනු මැන පරිස්සම් වෙලා
හුස්ම මගෙ ඇති තුරා
නුඹල දෙදනා රැදෙයි මගෙ සිත් පුරා

පොතේ ගුරු:

බිරිඳ සිහි වන්නේ
දරු ද සිහි වන්නේ
දින දින ගෙවෙන්නේ
කල්පයක් සේ ඔහු ට දැනුනේ

පුරා තුන් වසරක්
කලා කැටයම් රැසක්
ගමින් සිත් සුව හසක්
වඩුව වඩුකම් කලා සහසක්

රජු පැවරු පරිද්දෙන්
කැටයම් කලා ලීයෙන්
කාරිය නිමාවෙන්
යන්න කාලය උදා විය ඉන්

රජු පැමිණෙන්නේ
වඩුවා අමතමින්නේ
වාඩුව දෙමින්නේ
ඕන මොනවා දැයි අසන්නේ

රජු:

ප්‍රීතී ය වඩුව මට
කර ඇති ඔබේ වැඩ දැක
තුටු පඩුරු දෙන ලෙසට
අවැසි දේ කිම වේ ද කිව මට

පැවරූ වැඩය බොට
කර ඇති නිසා හොදට
අවවාදයක් හෝ මුදලකට
චාඩු ව ගෙවිය හැක ඉතිං මට

වඩුවා:

(මදක් කල්පනා කරමින්)

මුදලක් ගත්තොතින් මේ මා කළ වඩට
එය නැති වෙනව අපි කා බී ඇන්ද විට
මොනයම් දෙයක් ගෙන යා හැකි නම් දිගට
මුදල් නොවේ අවවාදය වේය මට

රජුගෙන් ඔවදනක් ගතයුතු යැයි සිතමි
මුදල් නොඉල්ලා ඉන්නට යැයි සිතමි
එය මහ වටින කරුණක් යැයි මම සිතමි
රජු දෙන ඔවදනත් ගෙන මම යමි සිතමි

(රජු ට වැඳ යටහත් පහත්ව තමා අවුරුදු තුනක් කළ ලී කැටයම් වල ට ගාස්තු ලෙස වටිනා අවවාදය ක් දෙන ලෙස ඉල්ලා සිටියේය)

පස්වහන් දහසක ට බුදු වේ රජතුමනි
සේවය කලේ ඔබ හට මා සිත තුටිනි
මා කල වැඩය වෙනුවෙන් මට රජතුමනි
දෙනුමැන ඔවදනක් දිවි සරු වෙන ලෙසිනි

(රජු ප්‍රීතියෙන් යුතුව මේ බුද්ධිමත් වඩුවා ගැන තවත් පැහැදී, ඉල්ලීම පරිදි "කනින් ඇසූවත් ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස කරන්න එපා" යනුවෙන් ඔවදනක් තල්පතක ලියා වඩුවාට දුන් සේක)

පොතේ ගුරු:

පඩුරු ගෙන ප්‍රීතියෙන්
වඩුව නික්මෙයි හනිකයෙන්
යන ගමන් මඟ තොටින්
අසයි අඹුදරු විත්ති සතොටින්

මග යන අය කිසිත්
නොදන්නා බව කිය කිසිත්
වඩුව ගෙ හිතට කිසිත්
හිතා ගත නොහැකීය මේ කිසිත්

(මඟ තොට දී මිනිසුන්ගෙන් ලැබූ ආරංවි නිසා සිත කලබල වු වඩුවා නිවසට නොයෑමට සිතයි)

සැක සිතිනි වඩුව ට
ගියා යැයි අඹුව පිට
පැන ගියයි දරුව පිට
අහෝ යැයි ඔහු සිතිය පිට පිට

නොයන්න ට සිතා නිවසට
නැවතුනු විසල් ගසක් යට
ගෙන රජ පඩුර ඉවතට
කියව බැලුවා එයද නිකමට


(වඩුවා රජු දුන් ඔවදන ගෙන කියවා බලා කම්පා වී, කුමට සැක කරන්නෙමිද මා, ගොස් සැක හැර දැන ගනිමියි සිතා නැගිට නිවස කරා යන්න ට සැරසුනි)

වඩුවා :

කොතරම් සෙනෙහසින් සිටිය ද අප දෙදෙන
දරුවා සමඟ දුක සැප දෙක බෙදා ගෙන
මට සැක නැතේ මගේ අඹු දරු දෙදෙන ගැන
ගොස් මම බලමි මගෙ නිවසට කල් නොගෙන

(වඩුවා නික්මේ. නිවසේ දොරට තට්ටු කළ ද බිරිය දොර හැරියේ නැත. වඩුවා බිරිඳ අමතා "සොදුර මා හදුනන්නේ නැතිද? රජතුමා ළඟ සේවයට ගිය ඔබේ සැමියා මමයි. දොර අරින්න" යැයි හඬ අවදි කලේය.)


බිරිඳ :

මගේ සැමියා කිසි දිනකේ
එන්නෙ නෑ රෑ දෙගොඩ යාමෙ
ඔබ මගේ සැමියා නොවන්නේ
අරින්නෑ දොර කසිම විටකේ

(සොවින් බරවූ වඩුවා ගෙයි පිළේම නිදා ගත්තේය. මහ රෑ ගෙතුලින් පිරිමි හඬක් ඇසුණි. ඔහු මහා කලබලයකටත් කෝපයකටත් පත් විය. දොර කඩාගෙන ඇතුලට යන්න සිතූ නමුත් රජුගේ ඔවදන නැවත ගෙන කියවා ඉවසා එළි වෙන තුරු පිළේම නිදා හුන්නේය. උදෑසන බිරිඳ දොර හැරගෙන එළිය ට පැමිණ පිළේ සිටි සැමියා දැක, පුදුමයට පත්ව හඬන්නට පටන් ගත්තාය. පුතා ද අවදි වී සිටි අතර ඔහුට තාත්තා අඳුනා ගත නොහැකි වී සිටියේය."පුතේ මේ උඹේ තාත්තා", ඊයේ රෑ ඇහුනේ පුතාගේම කට හඬ බව ඔහුට තේරුණා. වඩුවා සියළු විස්තර බිරියටත් දරුවාටත් කියා සිටියා.)

පොතේ ගුරු:

පසුදින නැචත වඩුවා
රජු වෙත යන්න සිතුවා
දින කිහිපයක් ගෙව්වා
මාළිගය වෙත නැචත ආවා

ඔබා රජු ළඟ දණ
දොහොත් මුදුනට ගෙන
තුන් වරක් වදිමින
කිව්ව පල දුන් අයුරු ඔවදන

පැහැදී රජු මෙවිට
දුන්නා පඩුරු පිට පිට
තවත් ඔවදන් දී තුට ට
යැව්වයි වඩුව නැවත නිවසට

කතා චස්තුව නිමි
නමුත් අදහස නොනිමි
ඔවදන් රුවන් වැනි
හිතට ගනු ඔබ දිලෙයි වැනි මිණි

(සියල්ලෝ වේදිකාවෙන් නික්ම යති)

නිමි.

( මෙහි දී මා සමහර තැන්හී එළිවැට ගැන තැකීමක් නොකළෙමි. )